පාස්කු ප්‍රහාරයට ඇති IS සම්බන්ධකම් සොයා දිගටම විමර්ෂණ සිදුකරනවා – හමුදාපති

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පිරිස් අයි එස් සංවිධානය සමග සම්බන්ධතා පවත්වා ඇති බව පරීක්ෂණවලදී තහවුරු වී ඇති නමුත් එම සම්බන්ධතා කොතරම් ගැඹුරුදැයි නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂකයින් තවදුරටත් උත්සහ දරමින් සිටින බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක පවසනවා. රොයිටර් පුවත් සේවය අද වාර්තා කර තිබුණේ එම පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාකදි හමුදාපතිවරයා මේ බව සඳහන් කළ බවයි. 

මේවනවිට සිදු කර ඇති පරීක්ෂණ කටයුතු බොහෝ පැතිවලින් ඉදිරියට ගොස් නොමැති බැවින්, ජනතාව කිසිසේත් කලබල විය යුතු නොමැති බවත්, ආරක්ෂක අංශ විසින් තත්ත්වය පාලනය කර ඇති බවත් යුද හමුදාපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 
අන්තවාදීන්ගේ දෙවන වටයේ ප්‍රහාරයකින් තොරව රටේ ජනතාවට ඔවුන්ගේ සුපුරුදු ජීවන රටාව යළි සිදුකර ගෙන යාමට හැකි බව ආරක්ෂක විශ්වාස කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයන්ට ජාත්‍යන්තර සබඳතා පවතින බැවින්, ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා රොයිටර්ස් පුවත් සේවය වෙත පවසා සිටියේ. 

එම ප්‍රහාරයන් සඳහා අයි එස් සංවිධානයේ මැදිහත්වීම් තිබෙන බව ස්ථිරවම ප්‍රකාශ කළ හැකි වුවද, එහි අදහස මෙය අයිඑස් ත්‍රස්තවාදීන් ඍජුව එල්ල කළ ප්‍රහාරයක් යැයි පැවසීම නොවන බවද යුද හමුදාපතිවරයා පවසනවා. එහෙත්, ප්‍රහාරයේ ගැඹුරු බව කොපමණද යන්න සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.