ලොකු අම්මාගේ කරදරයෙන් බේරෙන්න ගෙදරින් පැන ආ දැරිය රත්නපුරයේදී පොලිසියට හමුවෙයි..!

තම ලොකු අම්මා විසින් නිතර නිතර තමාට කුඩා දරුවෙකු බලා ගන්නා ලෙස කරදර කිරීම නිසා නිවසින් පැන ආ වයස අවුරුදු 11 පමණ දැරියක් රත්නපුර බස් නැවතම්පළ පිටුපස ත්‍රීරෝද රථ ගාල ආසන්නයේ සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලිසියට ලැබුණු තොරතුරක් මත දැරිය පොලිස් භාරයට ගෙන කරුණු විමසීමේදී දැරිය සඳහන් කර ඇත්තේ ලොකු අම්මා නිතර නිතර තමාට කුඩා දරුවෙකු බලා ගන්නා ලෙස කරදර කරන බවත් මෙම කරදරවලින් බේරීමට තමන් නුවර ප්‍රදේශයේ සිටින දෙමාපියන් ලඟට යාමට එම නිවසින් පැන රත්නපුර නගරයට ආ බවත් එතැනින් එහාට යාමට නොදන්නා නිසා ඇති වූ බිය නිසා මෙසේ නගරයේ ඇවිදිමින් සිටි බවත්ය.

පසුව තවදුරටත් තොරතුරු විමසීමේදී දැරියගේ දෙමාපියන් නුවර ප්‍රදේශයේ සිටින බවත් ඔවුන් විසින් මෙම දැරිය පාසැල් යැවීම සඳහා රත්නපුර දුලියන්ගස්දෙක ප්‍රදේශයේ පදිංචි දැරියගේ ලොකු අම්මාට ඇය බාර දී ඇති බවටත් තොරතුරු හෙළිවී තිබෙනවා.

අනතුරුව  දැරිය රත්නපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක දීපානී මෙනවියට බාර දී ඇති අතර පොලිසිය විසින් ඇගේ දෙමාපියන්ට දුරකථනයෙන් මෙම සිද්ධිය දැනුම් දී වහාම පොලිසිය වෙත පැමිණ දැරිය රැගෙන යන ලෙස දන්වා තිබෙනවා.