ඇමෙරිකානු හමුදාව රට තුළට ඇතුළු වන අමාත්‍ය මණ්ඩල සංදේශය අත්හිටවූ ජනපතිට ජාතියේ ගෞරවය – විමල් වීරවංශ

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ ලබා නොදෙන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලිමක් කරයි.

අදාළ ලිපිය මඟින් ජාතික නිදහස් පෙරමුණ පවසන්නේ අදාළ ගිවිසුම අත්සන් කිරීමට බලය ලබා දෙන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්හිටුවීමට ජනාධිපතිවරයා ගත් තීරණයට ජාතියේ ගෞරවය හිමිවන බවයි.

උපුටා ගැනිම

“මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මගින් රටේ ඉඩම් අයිතිය විදේශිය සමාගම් සතු කිරිම සඳහා නව පනතක් හඳුන්වා දීමට සහ පවතින පනත් දෙකක් සංශෝධනය කිරීමට යෝජනා කරයි.

ඒ අනුව අක්කර දහස් ගණනින් නොව ලක්ෂ ගණනින් මහා සමාගම් සතු කර ගැනීමේ අවස්ථාව නිර්මාණය වේ.

ආයෝජන කළාප 4ක් යටතේ අමෙරිකානු , ඉන්දියානු සහ ජපන් සමාගම් සතු කිරීම සඳහා නියමිත ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 12කි.

ACSA නමැති ගිවිසුම මගින් ශ්‍රි ලංකාවේ වරායන් සහ ගුවන් තොටුපළ පමණක් නොව අභ්‍යන්තර කඳවුරු පිහිටුවිම සඳහා ද අමෙරිකානු හමුදාවට බලය ලැබේ.

දැනට ත්‍රිකුණාමල වරාය පිටත සැපයුම් කේන්ද්‍රයක් ලෙස නවතා ඇති ජෝන් සී. ස්ටෙනින්ස් නම් යුද නෞකාවේ හමුදා භටයින් 6500 ක් රැඳවිය හැකි අතර යුද ගුවන් යානා 100 ක් රැඳවිය හැක.

ඒ අනුව ලෝකයේ විශාලතම හමුදා අනුඛණ්ඩය වන අමෙරිකානු ‘7 වන ඉන්දු – පැසිෆික් කොමාන්ඩ් ‘ ලෙස හැඳින්වෙන හමුදාවේ ප්‍රධාන සැපයුම් කේන්ද්‍රය ශ්‍රි ලංකාව බවට පත් වේ.

ඊට පහසුකම් සැලසීම සඳහා ත්‍රිකුණාමල සහ කොළඹ වරාය හා කටුනායක ගුවන්තොටුපළ යා කෙරෙන ආයෝජන කලාපයක් පිහිටුවීම ආවරණය යන්නේ මිලේනියම් වැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේය.

SOFA නම් වු තුන්වන ගිවිසුම අත්සන් කිරිම සඳහා විදේශ අමාත්‍යවරයා අමෙරිකාවට ගොස් සිටින බවට වාර්තා වේ.

එම ගිවිසුම මගින් අනෙක් ගිවිසුම් දෙක හරහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට අවශ්‍ය අමෙරිකානු හමුදා සහ සිවිල් නිලධාරීන්ට තානාපති මුක්තිය ලබා දේ.

එම නිලධාරීන්ට නිල ඇඳුම් සහිතව සහ ආයුධ සන්නද්ධව ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ක්‍රියාත්මක වීමට අවසර ලැබේ.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ ලබා නොදෙන ලෙස ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු.