හැන්සාඩ් නිලධාරියා රඳවා ප්‍රශ්න කරන්න අවසර

අත්අඩංගුවට ගෙන සිටින  පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුරුණෑගල පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමකට   (20)  ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලැබී තිබේ.

ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී කටයුතු සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවට පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සේවය කළ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා අත්අඩංගුවට ගැණිනි.

හදිසි නීති රෙගුලාසි යටතේ මහනුවර අලවතුගොඩ මාවතුපොළ අංක 60  දරණ ලිපිනයෙහි පදිංචි මොහොමඩ් නවුෂාඩ් ජලාල්දීන්  නමැත්තා එසේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලැබී ඇත.

පසුගිය පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ සමීප සබඳතා පවත්වමින් එම සංවිධානයේ කටයුතු සඳහා ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ සැකකරු පසුගිය 18 දා අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර පාර්ලිමේන්තු නිලධාරියා පාර්ලිමේන්තු සේවයේ යෙදී සිටියදීම ජාතික තව්හීත් ජමාත් ත්‍රස්තවාදී  සංවිධානය සමග එහි ප්‍රබල සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

සැකකරු පාර්ලිමේන්තු රැකියාවට යාම සඳහා තාවකාලිකව නවාතැන් ගෙන සිටි රාජගිරියේ නවාතැන්පොළක් සහ අලවතුගොඩ පදිංචි නිවෙස පරීක්ෂාවට ලක් කිරීමේදි තව්හීත් ජමාත්  සංවිධානයේ කටයුතු සඳහා සම්බන්ධ ලිපි ලේඛණ රැසක්ද හමුවූ බව පොලිසිය පවසයි.

සැකකරු රැකියාවේ නිරතව සිටියදීම ත්‍රස්ත නායක සහරාන් සමග එක්ව එම සංවිධානය ප්‍රවර්ධනය කිරීමෙහි නිරතව සිට ඇතැයි ද අකුරණ සහ ඒ අවට පෙදෙස් සම්බන්ධීකරණය කිරීමේ කටයුතු අලවතුගොඩ පිහිටි ඔහුගේ නිවසේ සිට මෙහෙයවා ඇතැයිද මේවනවිට අනාවරණය වී තිබේ.

මෙම ත්‍රස්තවාදී සංවිධානය සම්බන්ධයෙන් මෙතෙක් හෙළිනොවූ වැදගත් තොරතුරු රැසක්ම ඔහුගෙන්  ප්‍රශ්න කිරීමේදි ඉදිරියේදීඅනාවරණය කරගත හැකිවනු ඇති බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා ප්‍රකාශ කළේය.