අන්තවාදයට “වට්ස්ඇප්” මෙහෙයවූ සැකකරුවන් 03ක් අත්අඩංගුවට

දර්ගා ටවුන් බ්‍රේකින් නිව්ස්” නමින් සාමාජිකයන් 100 දෙනෙකු අතර අන්තවාදයට පක්ෂපාත “වට්ස්ඇප්” ජාලයක් මෙහෙයවූ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අලුත්ගම පොලිසිය ඊයේ (25) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සදහන් කර සිටියි. එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ වයස අවුරුදු 23 හා  20 වයස්වල පසුවන තරුණයින් තිදෙනක් බව සදහන්.

මෙම  “වට්ස්ඇප්” ජාලයට සම්බන්ධව සිටි පුද්ගලයන් 25 දෙනෙකු අද (26) දිනයේදී වහාම එම ජාලයෙන් ඉවත් වී ඇතැයි ද පොලිසිය කල විමර්ශන වලදී හෙළි වී ඇත.

මෙම වට්ස්ඇප් ජාලය වසර 3 ක පමණ කාලයක සිට මෙහයවූ ප්‍රධාන සැකකරු 23 වියේ පසුවන දර්ගානගරය, ලෝටස් පාරේ පදිංචි අයකු බවත් කලක් ඔහු විදෙස් රටක සේවය කර මෙරටට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. ඔහුගෙන් දින 03ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.

අත්අඩංගුවට ගෙන සිටින සෙසු සැකකරුවන් දෙදෙනාගෙන් ද මේ පිළිබඳව දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවත් ඉන් එක් අයෙකු දර්ගානගරය, මතුගම පාරේ පදිංචි අයකු බවත් අනෙක් සැකකරුද ලෝටස් පාරේ පදිංචි 20 වන වියේ තරුණයකු බව පොලිසිය සඳහන් කරයි.