දේශපාලන පෙරළියක් සිදු කරමින් නැවතත් ජාතිකවාදී පාලනයක් ගෙන ඒමට සංඝ රත්නයෙන් දස පනතක්.!

රට තුළ දේශපාලන පෙරළියක් ඇති කිරීම සඳහා සංඝ රත්නය එක්වී දස පනතක් ඉදිරිපත් කරන බව මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසනවා.

උන්වහන්සේ ඒ පිළිබඳව සදහන් කර සිටියේ ඊයේ (27) ජාතික විද්වත් භික්ෂු සංසදය පැපිලියානේ සුනේත‍්‍රාදේවි මහා පිරිවෙනේ දී පැවැත්වු මාධ්‍ය හමුවේදීය.  රටේ පැන නැගී ඇති වියවුල්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කිරීමට ජාතික විද්වත් භික්ෂු සංසදය මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුනා.

1956 විප්ලවය මෙන් නැවතත් ජාතිකත්වය හා දේශීයත්වය අගයන පාලනයක් ඇති කර ගත යුතු යැයි මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කරනවා, 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

“1956 සමාජ පෙරළියට පූජ්‍ය හේන්පිටගෙදර ඤණසීහ හිමියන්, පූජ්‍ය මැදගොඩ සුමනතිස්ස හිමියන් ඇතුඵ මහා සංඝරත්නය නායකත්වය දුන්නා. මහා සංඝරත්නය වෙත පැවරී තිබෙන එම ඵෙතිහාසික කාර්යභාරය වර්තමානයේ ඇතිවී තිබෙන ජාතික ආපදාවේදී කෙසේ කටයුතු කළ යුතුද යන්න සිතා ගනිමින් තමයි අපි මෙම මාධ්‍ය හමුව සංවිධානය කළේ. 30 අවුරුදු යුද්ධයෙන් පසුව දස වසරක් ගෙවීයමින් පවතිද්දී නැවතත් ඉස්ලාම් අන්තවාදයකට සහ ඊටත් එහා ගිය ව්‍යසනයන්ට අපි මුහුණ දෙමින් සිටිනවා. 70 වැනි නිදහස සමරන විට වසර 40 ක කාලයක් පුරා බෝම්බ පිපිරීම් සමරන්න අපට සිද්ධ වී තිබෙනවා . එම නිසා අපි ලැබූ නිදහස සැබෑ නිදහසක්ද නැතිනම් අයි. එස්. කාරයන් කුඩුකාරයන් ලෝක බැංකු මංකොල්ල කාරයන් ලැබු නිදහසක්ද කියන එක අපිට සිතා බලන්න සිද්ධවෙලා තියෙනවා. ඒ අතර අපේ ඵෙතිහාසික උරුමයන්, වනාන්තර, වෙරළ විනාශ වෙමින් පවතිනවා. 

මහානාම හිමියන් මහාවංශය ලිව්වයි කියල කියන එක වැරදියි. මහානාම හිමියන් මහාවංශය ලිව්වා පමණක් නොවෙයි ඉතිහාසයක් ගොඩනැඟුවා. එම නිසා ඉතිහාසය ගොඩනැඟීමේ වගකීම අතීතයේ සිට මහා සංඝරත්නය ඉෂ්ට කරලා තිබෙනවා. එම වගකීම ඉෂ්ට කිරීමේ දැවැන්ත කාර්යභාරයක් වර්තමාන භික්ෂුන් වහන්සේලාට පැවරී තිබෙනවා. ඒ වෙනුවෙන් තමයි ජාතික විද්වත් භික්ෂු සංසදය පෙරමුණ ගෙන තිබෙන්නේ. මෙය නොනැවතී ඉදිරියට යන ගමනක්. මේ ගමන මේ රටට නිවැරැදි දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට සහ එම දේශපාලන සංස්කෘතිය මේ රටේ අනාගතය සකස්කර ගැනීම දක්වා යනවා. 

1951 පැවති මහ මැතිවරණයේදී බණ්ඩාරණායක මහතා ලබා ගත්තේ ආසන 9 ක් පමණයි. සම සමාජ පක්ෂයටත් ආසන නවයක් ලැබුණා. එම නිසා බණ්ඩාරණායක මහතාට විපක්ෂ නායක කම ලැබුණේ එම පක්ෂයට වඩා ඡන්ද ලබාගත් නිසා තමයි. නමුත් 1956 පැවති මහ මැතිවරණයේ දී බලයේ සිටිය එ.ජා. පක්ෂය ආසන 8 කට සීමාකරල බණ්ඩාරණායක මහතා බලයට ආවා. ඒ සඳහා හේතුවූ බලවේගය කුමක්ද? ඒ තමයි භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කළ දස පනත. එම පනත පිළිගත් නිසා තමයි බණ්ඩාරනායක මහතාට ජය ගැනීමට හැකි වූයේ.

අපි ඉදිරියේ දී බලය අපෙක්ෂා කරන නායකයන්ට නූතන දස පනතක් ඉදිරිපත් කරනවා. එය අපි ඉදිරිපත් කරන්නේ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් සාකච්ඡා කරල ඉදිරිපත් කරන එකක් ලෙස නෙවෙයි. අපි ඒ සඳහා මේ රටේ සිටින විවිධ කණ්ඩායම් සම්බන්ධ කර ගන්නවා. අපි අද දසපනතක් ලෙස සංකල්ප රාමුවක් ඉදිරිපත් කරනවා. විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කර එම සංකල්ප ක‍්‍රියාකාරී සැලසුමක් ලෙස ප‍්‍රතිපත්ති මාලාවක් ලෙස ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වනවා. එම කටයුත්ත කිරීම සඳහා අපි රට වටා ගමන් කරනවා. අපි එම කටයුත්ත කරන්නේ රට නිවැරැදි දේශපාලන නායකත්වයක් සඳහා පෙළගැස්වීම සඳහායි.

මෙම වැඩපිළිවෙළ තුළින් පිළිබිඹු වන්නේ මහජන මතය. එම නිසා එයට පිටුපාන කිසිදු දේශපාලන නායකයකුට ආයෙත් මේ රටේ බලයට එන්න අපි ඉඩ තබන්නේ නෑ. එම වැඩපිළිවෙළ සමග එකඟ වන නායකයකුට පමණක් අපි ඉදිරියේ දී රටේ නායකත්වයට ඒමට ඉඩ සලසනවා.” යනුවෙන් ප්‍රකාශ කළා.