කටකතාවක් නිසා මීගමුවේ පාසල් උණුසුම් – බිය නොවන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලීමක්

කටකතාවක් හේතුවෙන් මව්පියන් බියට පත්වීමත් සමඟ මීගමුව ප‍්‍රදේශයේ පාසල් ආශ‍්‍රිතව ඇති වී තිබෙන තත්වය සොයා බලා වාර්තා කිරීම සඳහා මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු පිටත් කර යවා තිබෙනවා. ඒ, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ‍්‍රීලාල් නෝනිස් විසින්. 

මීගමුව ප‍්‍රදේශය ආශ‍්‍රිතව පැතිර ගිය රාවයක් හේතුවෙන් මව්පියන් කලබල වී පාසල්වල දරුවන් යළි නිවෙස් වෙත රැගෙන යාමට උත්සහ දැරූ බවයි වාර්තා වුණේ. මව්පියන් පාසල් ආශ‍්‍රිත ප‍්‍රදේශයට පැමිණ කලබලකාරී ලෙස හැසිරුණු බවද වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී  බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ‍්‍රීලාල් නෝනිස් පැවසුවේ කිසිදු සිදුවීමක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ හෝ වෙනත් පාර්ශවයක් විසින් දැනුම් දීමක් සිදු කර නොමැති බවයි. ඒ අනුව පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවද අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා ප‍්‍රකාශ කළා. 

මේ අතර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ද පැවසුවේ මීගමුව ප‍්‍රදේශය ආශ‍්‍රිතව පැතිර යන කටකතාවල සත්‍යතාවක් නොමැති බවයි. බිය විය යුතු කිසිදු තත්වයක් නොමැති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා තහවුරු කළා. එමෙන්ම අසත්‍ය ප‍්‍රචාර පතුරුවන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි ප‍්‍රකාශ කෙරුණේ.