රනිල් තුරුම්පු අදී.. සජිත්ට අවාසි පිටියෙන් ජනාධිපති සටන අරඹයි.. සුළු පක්‍ෂ මතය විමසයි..

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව සිටින සෙසු පක්ෂවල අදහස් විමසීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරණය කර ඇත.

ඒ අනුව ඒ සඳහා සාකච්ඡාවක් එළැඹෙන 05 වැනිදා කැඳවා තිබේ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිරිස් පවසන්නේ පළමුව එක්සත් ජාතික පක්ෂය විසින් අපේක්ෂකයා නම් කර පසුව ඊළඟ පියවරට යා යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂපාතීව බවද ඔවුන් සඳහන් කරති.

කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහතාට හිතවාදී වන අතර සජිත් ප්‍රේමදාස මහතාට ඔවුන් පක්ෂපාතිත්වයක් නොදක්වයි.

දෙමල ජාතික සන්ධානයද සජිත් ප්‍රේමදාස මහතා ජාතික ප‍්‍රශ්ණය සම්බන්ධයෙන් දරනා ස්ථාවරය හේතුවෙන් සහාය පල කිරීමට අකමැත්ත පල කර ඇති බවද වාර්තා වෙයි.