සිසුන් ගස් යට උගනිති.. පාසැල් ගොඩනැගිල්ල අබලන් වී මුක්කු ගහයි..

බළපිටිය, අම්පේ කණිටු විදුහලේ ප්‍රධාන ශාලා ගොඩනැගිල්ල කාලයක් තිස්සේ අබලන් වීම නිසා සිසුන් සිය ගණනකගේ ජීවිත අවදානම් තත්ත්වයකට පත්ව තිබේ.

මෙම විදුහල ආරම්භ කොට වසර එකසිය හයක් (106) වන අතර ආරම්භයේ දී ඉදි කළ බව කියන මෙම ගොඩනැගිල්ල වරින් වර අලුත් වැඩියා කළත් මේ වන විට වහල සම්පූර්ණයෙන්ම දිරා පත් වී තිබේ. දැනට මුක්කු ගසා ගෙන එය කඩා වැටීම වළක්වා ගෙන තිබෙන බව එහි ගිය අපිට දැකගන්නට ලැබුණි.

බාර්ලිස් ද සිල්වා විජේකුලතිලක ඉදිරිසිංහ මුහන්දිරම් විසින් 1913 දී ආරම්භ කළ මේ විදුහලේ මේ වන විට පළමු වන ශ්‍රේණියේ සිට එකොළොස් වන ශ්‍රේණිය දක්වා පන්ති පවත්වනු ලබයි. විදුහලේ ඉගෙන ගන්නා සිසු සංඛ්‍යාව එකසිය හතළියකි.

ප්‍රවීණ මද්දල් වාදකයකු වන චාර්ලිස් ද සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ හා අම්පේ වෙද මහතා නමින් ප්‍රකට දසනායක මහතා ඇතුඵ විශාල පිරිසක් මෙම විදුහලෙන් බිහි වී තිබෙන අතර 2014 වසරේ දී මෙම විදුහලේ ආදි ශිෂ්‍යයකු වෛද්‍ය විද්‍යාලයට තේරී පත්වීම විදුහල ලැබූ දැවැන්ත ජයග්‍රහණයකි. එමෙන්ම වාර්ෂිකව සිසුන් එක් අයකු හෝ දෙදෙනෙකු පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී තිබේ. ක්‍රීඩා අංශයෙන්ද එවැනි දස්කම් දක්වන සිසුන් පිරිසක්ද බිහිවී තිබේ.

විදුහලේ ප්‍රධාන ශාලාව මෙසේ අබලන් වී මුක්කු දෙකක් ගසා තිබෙන නිසා එම ගොඩනැගිල්ලේ පවත්වා ගෙන ගිය පන්ති දෙකක් ඉවත් කර තිබේ. ගබඩා කාමරය ඉවත් කර එහි එක පන්තියක් පවත්වා ගෙන යන අතර අනෙක් පන්තිය ගස් යට සෙවණේ පවත්වා ගෙන යයි. වර්ෂා දිනයක දී එම පන්තියේ සිසුන්ට සිදුවනුයේ මහත් අසාධාරණයකි.

මෙම විදුහලට පැමිණෙනුයේ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් හෙයින් පාසලට යමක් කිරීමට තරම් ශක්තියක් ඔවුන්ගේ දෙමව්පියන්ටද නැත. පාසලේ බොහෝ කටයුතු වෙනුවෙන් ප්‍රදේශයේ සැලකිය යුතු දෙනෙක් යමක් කරන හෙයින් ඔවුන්ටද තවත් බරක් පැටවීමට හැකියාවක් නැති බව කියන දෙමව්පියෝ කියති. විදුහල්පති ලවා අදාළ අංශ වලට ලිපි යොමු කළත් ඵලක් වී නැති බවද දෙමාපියෝ කියති. හැම තැනකටම ගොස් සොයා බලා කටයුතු කරන දකුණු පළාත් ආණ්ඩුකාරතුමාට මේ විදුහලට ඇවිත් සොයා බලා මහා විපතක් වීමට පෙර කඩිනම් විසඳුමක් දෙන ලෙස ඉල්ලා සිටින බවද දෙමව්පියෝ කියති.

මේ පාසැල් දරුවන්ට ටැබ් පරිගනක ලබා දෙන්නට රජය කතා කරමින් සිටින බවත් කොළඹ පාසැල් පිළිබදව නොසිතා ගම් මට්ටමින් සොයා බලා තීන්දු තීරණ ගන්නා ලෙසත් දෙමාපියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. කොළඹ පැසැල් වල දෙමාපියන්ට සිය දරුවන්ට ටැබ් පරිගනක ලබා දීමේ වත්කමක් තිබෙන බවත් ගමේ දෙමාපියන්ට ගොඩනැගිල්ලක් අළුත්වැඩියා කර ගැනීමට පවා වත්කමක් නොමැති බවත් ඔවුහු ප්‍රකාශ කරති. එම නිසා අධ්‍යාපනයට අත්‍යාවශ්‍යප ටැබ් පරිගනකයද ගොඩනැගිලි හා ඩෙස් පුටුද යන්න ප්‍රමුඛතාවය හදුනා ගැනීම වැදගත් බවත් අම්පේ කණිටු විදුහලේ දෙමාපියන් ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව විදුහල්පති බී. සුනිල් ශාන්ත ද සිල්වා මහතාගෙන් විමසූ විට පැසුවේ අදාළ අංශවලට ලිඛිතව දැනුම් දී ඇති බවත් කඩිනම් පියවරක් ගනීවී යැයි විශ්වාස කරන බවත්ය.

– ජයකාන්ත ලියනගේ