ශ‍්‍රීලනිප එජාපෙ සුළු පක්‍ෂ සහ පොහොට්ටුව එක්ව නව සන්ධානයක්…!බදියුදීන් නෑ….!

නව සන්ධානයක් බිහිකිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර වූ සාකච්ඡා අවසන් එකඟතාවකට පත් වෙමින් පවතී.

මේ මස අවසන් සතිය වනවිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සිදුවනු ඇති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර වූ සාකච්ඡා මෙම සතිය තුළදී අවසන් කිරීමට දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ‘පොහොට්ටුව’ ලකුණ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුව හැර ප්‍රතිපත්තිමය කරුණු 25කට අධික සංඛ්‍යාවක් සඳහා දෙපාර්ශ්වය විසින් මේ වනවිට එකඟතාවට පත්ව ඇතිව බවද සඳහන් වේ.

මේ අතර ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ කිහිපයක්ද ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ සමග කෙටි සාකච්ඡා පවත්වා ඇති බවත්, මේ වනවිට ආණ්ඩුව පත්ව ඇති අවිනිශ්චිතාව හේතුවෙන් අවශ්‍ය වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව බිහිවන නව සන්ධානය සමගින් එක්වීමට අවධානය යොමු කළ බවට ඔවුන් විසින් ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වේ.

කෙසේවුවද ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මෙම පක්‍ෂ අතර රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයා නොසිටි බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.