පබාටත් පැරදුනු එයා එනවා.. ජලනිට ආර්යාව වෙන්න තව කල් යනවා..

‘පබාට පැරදුණු එයා’

දැන් මේ බටහිර බලවතුන්ට ජනාධිපතිවරණයෙන් දිනවීමට උවමනා කාවද? රනිල්ම තමා. හැබැයි රනිල්ව උවමනා වුණත් දාන්න බැහැනේ. එයා දිනන්නේ නැහැනේ. ඒ නිසා බටහිර උවමනාව වී ඇත්තේ සිංහල ඡන්ද පදනමට වැඩිම බලපෑමක් කළ හැකි අපේක්ෂකයා යූඑන්පියෙන් දම්මවන්න. කවුද එයා? ‘පබාට පැරදුණු එයා’ තමයි කරූ ජයසූරිය. ‘බෝධිසත්ව ගුණෝපේත’ කිව්වට දින 52 ආණ්ඩුව කාලයේ එතුමාගේ ‘මරුමුස්කම’ එළියට ආපු හැටි, මේ රටේ ජනතාව හොඳටම දැක්කානේ.

‘රනිල්ගේ අවතාරයක්‘

සජිත් මහත්තයා වෙඩින් කාඞ් බෙදමින් ගියාට විවාහයට කලින් රනිල් ‘මනාලිය’ උස්සනවා. ජලනි නෝනාට ජනාධිපති ආර්යාව වෙන්න තව ආත්ම ගණනාවක් බලා ඉන්න වෙනවා (සභාවේ සිනා). සජිත් මහත්තයා ‘කාඞ් බෙදලා’ නිසා ලැජ්ජාවට වෙන පක්‍ෂයකින් හරි අපේක්ෂකයා වෙලා එන්න ඉඩ තියෙනවා. නමුත් යූඑන්පී අපේක්ෂකයා තමයි කරූ ජයසූරීය. එයා දිනුවොත් කවුද අගමැති? රනිල් අගමැති. අපි දන්නවානේ කරූ ජයසූරිය මෙතෙක් කලක් ‘කථානායක පුටුවේ’ වාඩි වෙලා වැඬේ කළ හැටි. රනිල්ගේ මූණ බලලා තමයි අපි අහන ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වන්නේ. කරූ කියන්නේ රනිල්ගේ අවතාරයක්. පක්‍ෂ නායකකම රනිල් අතේ නිසා ‘දණ ගහපන් කරූ’ කියපු ගමන් එයා දණ ගහනවා.

‘කරූ ආවාට, පෑව්වේ නැහැ හිරු‘

මට මේ අවස්ථාවේදී මතකයට එනවා 1997 පළාත් පාලන මැතිවරණයෙන් ජයගෙන කරූ ජයසූරිය මහතා කොළඹ නගරාධිපති වෙනවා. එහිදී කරූගේ තේමා පාඨය වූයේ ‘ආවොත් කරු – පායයි හිරු’ කියලයි. නමුත් කරූ ආවාට හිරු පෑව්වේ නැහැ. එයා, නගර සභාවේ සියලු පරිපාලන කටයුතු නියෝජ්‍ය නගරාධිපති ඕමාර් කාමිල් මහතාට පවරා ‘බබා’ වගේ හිටපු එකයි කළේ. කරූ ජනාධිපති වුවත්, රනිල්ට උවමනා දේ කිරීමට ඉඩ දී නිහඬව සිටීවි. ඇමෙරිකාවට උවමනා සෝෆා, එම්සීසී ගිවිසුම් සියල්ල අත්සන් තැබේවි. නමුත් කරූ ආවම වෙන දේ තමයි එයා ජනාධිපතිවරණයෙන් පැරදීම. ඊට පස්සේ එයා මුදලුත් වියදම් කර ගෙන ගෙදර යනවා. රනිල් මහ මැතිවරණයෙන් කොහොමහරි මන්ත්‍රී ධුර ටිකක් අරගෙන ඇවිත් විපක්‍ෂ නායක වෙනවා.

‘ජනාධිපතිවරණ – කමින් සූන්’

කරූ අපේක්ෂකත්වය ලබාගෙන තවත් නාඩගමක් නටන්න සූදානම් වෙනවා, ‘අලියා කෑව දිවුල ’ සමඟ එකතු වෙලා. කරූ ජනාධිපතිවරණය අතුරතුර කියනවා ‘මම ජනාධිපති වෙලා මාස 06කින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා’ කියා. එවිට ‘අලියා කෑව දිවුල’ කියනවා, මම කරූ ජයසූරිය මහතා සමඟ මේ පිළිබඳව සම්මුතියකට පැමිණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වෙමි. ආමේන්’ කියා. ඕවා ඉදිරියේදී පෙන්වීමට නියමිත ‘ජනාධිපතිවරණ – කමින් සූන්’ ජවනිකා.