අපේ කිසිදු සටනකදී ඔබ සහායට ඇවිත් නෑ..! සිවිල් සංවිධාන සජිත්ගේ මුහුණටම බෑ කියති..!

සැප්තැම්බර් 17 අඟහරුවාදා රාත්‍රියේ කොළඹ පිහිටි මංගල සමරවීර ඇමැතිවරයාගේ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබිණි. මේ සඳහා ආරාධනා කර තිබුණේ සිවිල් සමාජ සංවිධානවල ඉහළ පෙළේ සාමාජිකයන් පිරිසකටය.

මංගල සමරවීර සිවිල් සමාජයේ මිතුරෙකි. සිවිල් සමාජය සහ එක්සත් ජාතික පක්ෂය අතර පාලමක් හැදුවේ මංගල විසින් යැයි කිව්වොත් එය අතිශයෝක්තියක් නොවෙයි. ඒ නිසා මංගලගේ ආරාධනයට සිවිල් සමාජ නායකයන්ගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයකි.

පසුගිය 15 වන ඉරිදා අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පියවර ගන්නා ලෙස සිවිල් සමාජ කණ්ඩායම් දෙකක්ම ඉල්ලා තිබිණි. එකක් නම් සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුවයි. අනෙක පුරවැසි බලය යි. විශේෂයෙන්ම මෙම කටයුත්ත මෙතරම් ප්‍රමාද වීම ගැන ‘පුරවැසි බලය’ සංවිධානය විසින් අගමැතිවරයාට දොස් පැවරීමක්ද කර තිබුණි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කඩිමුඩියේ කළ නොහැකි නම්, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යන පොදු සටන් පාඨය යටතේ සියළුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක තැනකට ගෙන ආ හැකි ජාතික අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ‌ලෙස එම සංවිධාන අගමැතිවරයාගෙන් ලෙස ඉල්ලා තිබිණි. එම යෝජනාවට අගමැතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබී තිබිණි. මංගලගේ ආරාධනය ඔවුන්ට ලැබී තිබුණේ එයට පසු දින, එනම් සඳුදා ය.

අඟහරුවාදා උදේ 7.30 ට මංගලගේ නිල නිවසේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී සජිත් ප්‍රේමදාස මහතා ඒක පාක්ෂිකව තම අපේක්ෂකත්වය ප්‍රකාශ කරනු ඇතැයි මාධ්‍යවේදීහු බලා පොරොත්තු වූහ. සජීවී ලෙස සිරස ටී වී ඔස්සේ විකාශය වූ මෙම මාධ්‍ය සාකච්ඡාව එවන් කිසිදු බ්‍රේකිං නිව්ස් එකක් නැතිව අවසන් විය. සජිත් ප්‍රකාශ කළේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තු වන බව පක්ෂ නායකයාට ලිපියකින් දැනුම් දුන් බව පමණි.

එදිනම දහවල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් බලාපොරොත්තු වන බව සඳහන් ලිපියක් කථානායක කරු ජයසූරිය මහතාගේ ලිපි ශීර්ෂයකින් මාධ්‍ය වෙත නිකුත් විය. තමන් එසේ ඉදිරිපත් වන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ චේතනාවෙන් බව ඔහු අවධාරණය කොට තිබිණි.

අඟහරුවාදා රාත්‍රී සිවිල් සමාජ සංවිධාන නායකයන් මංගල ඇමැතිවරයාගේ නිවසට ගියේ මෙම පසුබිම යටතේය. මෙම සාකච්ඡාවට පූජ්‍ය දඹර අමිල හිමි, සමන් රත්නප්‍රිය, මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, කේ ඩබ්ලිව් ජනරංජන, චන්ද්‍රගුප්ත තේනුවර, බ්‍රිටෝ ප්‍රනාන්දු සහ පිලිප් දිසානායක සහභාගි වූහ.

සාකච්ඡාවට සහභාගි වීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා කල් තියාම පැමිණ සිටියේය. එම සාකච්ඡාවට මංගල සමරවීර මහතාට අමතරව රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරාල, මලික් සමරවික්‍රම, හර්ෂ ද සිල්වා, සුජීව සේනසිංහ සහ එරාන් වික්‍රමරත්න යන ඇමැතිවරු සහභාගි වී සිටියහ. පක්ෂයේ සභාපති කබීර් හෂීම් ඇමතිවරයා පැමිණ තිබුණේ ප්‍රමාද වී වන අතර, ඔහු ඉක්මණින්ම පිටව ගියේ තිබුණේ වෙනත් කටයුත්තක් යෙදී ඇතැයි කියමිනි. මෙම සාකච්ඡාවට සජිත් ප්‍රේමදාස මහතාගේ කැම්පේන් එකේ ඉදිරියෙන්ම සිටි පතාක යෝධයන් වූ හරීන් ප්‍රනාන්දු සහ අජිත් පී පෙරේරා යන අමාත්‍යවරු නොපැමිණීම විශේෂයක් විය. ඒ දෙදෙනා එදින උදේ පැවැත්වුණු මාධ්‍ය හමුවට පවා සහභාගී නොවීම ද මාධ්‍යවේදීන්ගේද කුතුහලයට ලක් ව තිබුණි.

සාකච්ඡාව ආරම්භයේදීම සිවිල් සංවිධාන නියෝජිත පිරිස කියා සිටියේ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන් විසින් නායකත්වය ලබා දුන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යන තනි සටන් පාඨය මත 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තමන් ගත් වෙහෙස පිළිබඳවය. එම අපේක්ෂාව යම් දුරකට සාධනය කරමින් 19 වන සංශෝධනය ගෙන ඒමට හැකි වුවද, පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට නොහැකි වූ බව ඔවුහු ප්‍රකාශ කළහ. එහිදී නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ගත් උත්සාහයට සිවිල් සමාජය තම සහයෝගය ලබා දුන්නත් එය සාර්ථක කර ගැනීමටද නොහැකි වූ බවද සඳහන් කළ සිවිල් සමාජ නියෝජිතයෝ ‌මෙවර ජනධිපතිවරණයෙන් පසුව එම වෑයම සාක්ෂාත් කරගත යුතු බව ප්‍රකාශ කළහ.

එමෙන්ම පොරොන්දු වූ පරිදි පසුගිය රජය කාලයේ වැරදි කළා යැයි චෝදනා ලැබූ ප්‍රධාන පෙළේ පුද්ගලයන්ට එරෙහිව ඵලදායී ලෙස සහ කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමට රජය ක්‍රියා නොකළ බව චෝදනා මුඛයෙන් ප්‍රකාශ කළ ඔවුහු, හොරුන් ඇල්ලීමට ආ ආණ්ඩුව අවසානයේදී හොරුන් විසින් අල්ලා ගන්නා ලද්දේ මෙම අලස ප්‍රතිපත්තිය නිසා බව ‌පෙන්වා දුන්හ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට සජිත් විරුද්ධ ‌වෙයි..
2015 දී අප විසින් මහත් වැර වෑයමෙන් පරාජය කළ බලවේග යළි හිස ඔසොවා ‘ගේට්ටුව අසල’ සිටින බැවින් එම බලවේගය යළි පරාජය කරනු පිණිස පුළුල්ම සන්ධානයක් ගොඩ නැගිය යුතු බව කී ඔවුහු විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම නමැති පොදු ප්‍රතිපත්තිය මත එක්සත් ජාතික පක්ෂයට පමණක් නොව සෙසු සියළු බලවේගවලටද පිළිගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව ප්‍රකාශ කළහ.

කෙසේ වුවද, සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහසට එකඟ නොවූ බව පෙනිණි. එදින උදෑසන පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කී පරිදිම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම තවදුරටත් රටේ ප්‍රමුඛතාවයක් නොවන බව ‌හේ ප්‍රකාශ කළේය. අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් පසු රටේ ජනතාවගේ ප්‍රමුඛතා වෙනස් වී ඇති බව ප්‍රකාශ කළ ඔහු කියා සිටියේ දැන් ප්‍රමුඛතාවය හිමිවන්නේ ජීවන වියදම සහ ජාතික ආරක්ෂාව යන තේමාවන්ට බවයි.

මෙයින් අනතුරුව පැන නැංගේ විශාල විවාදයකි. තත්ත්වය සමනය කිරීමට මංගල සමරවීර මහතා උත්සාහ දැරුවද සජිත් ප්‍රේමදස මහතා මුරණ්ඩු ලෙස තම මතයේ එල්බ ගැනීම නිසා සාකච්ඡාවේදී අපේක්ෂිත අරමුණ වන සිවිල් සමාජ‌යේ සහය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා ගැනීම ළඟා කර ගත නොහැකි ඉලක්කයක් බවට පත් විය.

මේ අවස්ථාවේ පෙනී ගිය කරුණක් වූයේ සිවිල් සමාජය විසින් පසුගිය කාලය මුළුල්ලේ ප්‍රවර්ධනය කරන ලද අදහස් සහ සාරධර්ම පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතාට හෝ ඔහුගේ සහායකයන්ට කිසිදු අවබෝධයක් නැති බවයි. මේ සම්බන්ධව සිවිල් සමාජය සමග සංවාදයක නිරතුරුව සහභාගි වී සිටි මංගල සමරවීර මහතාට එම අවබෝධය තිබුණද, ඔහුගේ මැදිහත්වීම නොතකා සජිත් ප්‍රේමදාස මහතා තම මතයෙහිම එල්බ සිටින බවයි. මේ තත්ත්වය යටතේ මංගල සමරවීර මහතාද සිවිල් සමාජ නායකයන් හමුවේ අසරණ වූ බවක් පෙනී ගියේය.

මෙහිදී අදහස් දැක්වූ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ සජිත් ප්‍රේමදාස මහතා කිසි දිනක සිවිල් සමාජ සංවිධානවල මිතුරෙකු නොවූ බවයි. සිවිල් සමාජය විසින් ගෙන ගිය කිසිදු අරගලයක්, වැඩපිළිවෙළක් සමග කිසිදා එක් ‌නොවූ සජිත් ‌ප්‍රේමදාස පිළිබඳව විශ්වාස කොට ඔහු අපේක්ෂකයා වශයෙන් පිළිගැනීම තමන්ට කළ නොහැකි බව ඔහු සජිත් ප්‍රේමදාසගේ මුහුණටම ප්‍රකාශ ‌කෙළේය.

අඩුම ගණනේ පසුගිය ජනාධිපතිවරණයේ දී හම්බන්තොට පැවැති සිවිල් සංවිධාන රැස්වීම පවා සජිත් ‌ප්‍රේමදාස මහතා විසින් කඩා කප්පල් කළ බව බ්‍රිටෝ පැවසූ විට මංගල ඊට හරස් විය. එවැන්නක් සිදුවූයේ නැතැයි කීවේ ය. එවිට පිලිප් දිසානායක කීවේ එකී රැස්වීමට ස්ථානය ‌වෙන් කළේ තමා බවත් මනෝ ‌ගනේෂන් ලා සහභාගී වන රැස්වීම් හම්බන්තොට පැවැත්වීමට විරෝධය පළ කරමින් ඒ රැස්වීම කඩා කප්පල් ‌කෙළේ ‌ප්‍රේමදාස මහතා බවයි. පිලිප්ගේ කතා‌වෙන් පසු මංගල සජිත් ‌දෙපොළම නිහඬ වූහ.

මේ අවස්ථාවේදී මංගල සමරවීර මහතා සුපුරුදු බයිලාව ‌ලෙස කීවේ කුමන වෙනස්කම් තිබුණද, ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීමට අප සියළු දෙනාම එකතු විය යුතු බවයි. එය ජයග්‍රහණය කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීම අනිවාර්ය බවත් කී ඔහු මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ මෙන්ම එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂවලද සහයෝගය ලැබෙන බැවින් සිවිල් සමාජයේ සහය ඒ සඳහා ලැබීම අත්‍යවශ්‍ය බව කීවේ ය.

මෙහිදී සිවිල් සමාජ සංවිධාන නායකයන් එක ‌හෙළාම කීවේ තමන් දේශපාලන පක්ෂයකට සහය ලබා දෙන්නේ ප්‍රතිපත්තිමය පදනමක් මත බවයි. එම ප්‍රතිපත්ති සමග කිසි ලෙසකින්වත් පෑහීමක් නැති පුද්ගලයකු වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට හැකියාවක් නැති බව ඔවුහු එහිදී අවධාරණය ‌කළහ.