TNA සහ විග්නේෂ්වරන්ගේ සහයෙන් ගුරුකන්ද හිමිගේ ආදාහනයට විරෝධය පාමින් උතුරේ සියළු නීතීඥයන් වර්ජනයේ..

අධිකරණ නියෝගය කඩකරමින් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කිරීමට කටයුතු කළ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් කරමින් උතුරු පළාතේ නීතිඥවරුන් අද (24) සේවයෙන් බැහැරව කටයුතු කරන බව උතුරු පළාත් නීතිඥ සංගමයේ නියෝජිත ජ්‍යේෂ්ඨ නීතිඥ ඇන්ටන් පුනිදනායගම් මහතා පැවසීය.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය නොසළකා කටයුතු කිරීම හා මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයෙකුට ආදාහන පූජොත්සවය පැවති අවස්ථාවේදී පබලපෑම් එල්ල කළ පිරිස් වෙතට විරුද්ධව උතුරු පළාතේ සියළුම නීතිඥවරුන් අද (24) උදෑසන 11.00 ට මුලතිව් ම‍හේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපස විරෝධතාවයක් පවත්වන බවට නීතිඥ පුනිදනාගම් මහතා පවසයි.

අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයන් එපිට නයාරු මුහුදු තීරයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා ඊයේ(23) දින නියෝග කළේය.

ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එම විහාරයේ සිදුනොකිරීම සඳහා කටයුතු කරන ලෙසත් එහි කෝවිලක් තිබෙන බැවින් එයට අගෞරවයක් වන බවට පවසමින් විහාරස්ථානයේ පිහිටි නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව විසින් මුලතිව් පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය කැඳවු අවස්ථාවේ අදාළ තීන්දුව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කළේය.

නමුත් මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය ආදාහන කරන ස්ථානය පිළිබඳ තීන්දුව ලැබෙන අවස්ථාව වන විටත් ආදාහන පූජොත්සවය සිදුකිරීමට ශාශනාරක්ෂක බලමණ්ඩලය විසින් තීරණය කොට තිබුණි.

එහිදී ආදාහන කටයුතු වෙනුවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා පැවසූවේ  අධිකරණ තීන්දු තීරණ ලැබීම පමා වීම හේතුවෙන් මෙන්ම විහාරාධිපති හිමියන්ගේ  දේහය අව පැහැ ගැනීමත් නිසා ශාශනාරක්ෂක බලමණ්ඩලයේ තීරණය අනුව ගුරුකන්ද විහාර භූමියේම අවසන් කටුයුත සිදු කළ බවටය.

කෙසේ වෙතත් අද දින උතුරේ නීතිඥ වරුන් නඩු කටුයුතු වලින් ඉවත් වීම හේතුවෙන් නඩු විභාග වෙනුවෙන් පෙනී සිටීමට පැමිණි පිරිස් අපහසුතාවයන්ට පත්වෙමින් ආපසු නිවෙස් වෙතට පිටත් වූහ.