දිවිඇති තෙක් වැටුප් දීමේදී ජනපති යෝජනා රනිල් ප්‍රමුඛ එජාපය කපා හැරලා

යුද තත්ත්වය හේතුවෙන් ආබාධිත වූ රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා. 

ඒ අනුව යුද තත්ත්වය හේතුවෙන් ආබාධිත වූ ත්‍රිවිධ හමුදාව, පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලූ සාමාජිකයන්ට තමන් විශ‍්‍රාම ගිය පසුව ද ඔවුන්ගේ අවසන්වරට ලැබු වැටුපට සමාන වැටුපක් ඔවුන් ජීවත්ව සිටින තාක්කල් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ආබාධිත රණවිරුවන්ගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ මෙම ගැටලුව විසඳීම පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිරන්තර අවධානයකින් කටයුතු කළ අතර ඒ අනුව අදාළ කැබිනට් සංදේශය සකස් කර පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ. 

මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කරන ලද සංශෝධනවලට යටත්ව ඊයේ (24) දින ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවුණා.

අදාළ කැබිනට් සංදේශය මගින් මෙම වැටුපට හිමිකම් කියන ආබාධිත රණවිරුවා මියයාමෙන් පසු ඔහුගේ බිරිඳට හෝ වයස අවුරුදු 26ට අඩු දරුවන් සිටීනම් එම දරුවන්ට අදාළ වැටුප හිමිකර දීමට ද ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබුන නමුත් මුදල් අමාත්‍යාංශයේ සංශෝධන අනුව කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන්නේ අබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් වැටුප ලබාදීමට පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ.