මන්ත්‍රි හේෂා විතානගේ දුටු තැන අත්අඩංගුවට ගන්න…! ඇඹිලිපිටිය අධිකරණයෙන් වරෙන්තු..!

මුදල් වංචාවක් කළැයි පවතින නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  හේෂා විතානගේ මහතාට  ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් කේ.පී.ආර්.එල්.විදානගමගේ මහත්මිය අද (30) වරෙන්තු නිකුත් කළාය.

සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා  මගින්  මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන වහාම  අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද     මහෙස්ත්‍රාත්වරිය එහිදී සඳහන් කළාය.

කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන ජේ.ඒ.අනුර මහේන්ද්‍ර නැමති අය විසින්  ඔහුට අයත් ඇඹිළිපිටිය ප්‍රදේශයේ පැවති රුපියල් කෝටි දෙකක් පමණ වටිනා දේපළක් මන්ත්‍රීවරයා විසින් සාවද්‍ය පරිහරණය කිරීමට එරෙහිව ඇඹිළිපිටිය පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව පවරා තිබේ.

නඩුව සදහා මන්ත්‍රීවරයා පසුගිය නඩු වාරයේ සහ නඩුව කැදවු අද  (30) දිනයේද අධිකරණය හමුවට පැමිණ සිටියේ නැත. මන්ත්‍රීවරයා වෙනුවෙන් නීතීඥ මණ්ඩලයක්ම පෙනි සිටි අතර  පැමිණිල්ලේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතීඥ ශිරාශ් යුසුප් මහතා සහ නීතීඥ රසාංගා රන්මදු මහත්මිය පෙනී සිටියාය.

මෙහිදී විත්තිකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා ඇත්තේ විත්තිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවත්, අද දිනයේ ඔහු  වෙනුවෙන් ඔහුගේ මව හා පියා අධිකරණයට පැමිණ ඇති බවත්ය.