පාස්කු සිද්ධිය ගෝඨාට පටවන එජාප මඩ විඩියෝවේ මුල-මැද-අග මෙන්න..

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ බවට ව්‍යාජ වීඩීයෝ පටයක් නිර්මාණය කර ප්‍රචාරය කිරීමේ එක්සත් ජාතික පක්ෂ කුමන්ත්‍රණයක් පිළිබද ව තොරතුරු අනාවරණය වේ.

පාස්කු ප්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පටවා කතෝලික ඡන්ද සජිත් ප්‍රේමදාස මහතාට ලබා ගැනීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය මෙ‍ම නිර්ලජ්ජිත කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන බවට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කතෝලික මන්ත්‍රීවරු චෝදනා කළහ.

ඔවුන් මෙහි දී අනාවරණය කළේ බත්තරමුල්ල ප්‍රදේශයේ ස්ථානයක මෙම රෑ ගත කිරීම් මේ වන විට සිදු වන බවයි. ඒ සදහා අදාළ ප්‍රචාරක ආයතනයට රැපියල් කෝටි 08 ක මුදලක් ලබා දී ඇතැයි ද මන්ත්‍රීවරැ පෙන්වා දුන් හ.

මීගමුව කොච්චිකඩේ රෙනොවෙල් හෝටලයේ දී පැවැති මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන නිමල් ලාන්සා‚ සනත් නිශාන්ත‚ අරුන්දික ප්‍රනාන්දු‚ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. ඊට අමතරව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති ට්‍රෙවින් ප්‍රනාන්දු‚ හිටපු පළාත් සභා මන්ත්‍රී උපුල් රාජිත‚ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර ගුණරත්න යන මහත්වරුන්ද ඊට එක්ව සිටියහ.

මෙ‍ම ව්‍යාජ විඩීයෝ පටය සමාජ මාධ්‍ය වෙත මුදාහැර පසුව  එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් මාධ්‍ය හමුවක් කැදවීමටත් දේවස්ථාන ජනතා උද්ඝෝෂණයක් සංවිධානය කර ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට බල කිරීමට මෙම පිරිස සැලසුම් කර ඇතැයි මන්ත්‍රිවරු මෙහි දී පෙන්වා දුන් හ.

මෙම කුමන්ත්‍රණය පිටුපස  මංගලසමරවීර‚ තුසිත හල්ලොළුව සහ දයාන් ජයතිලක ඇතුළු පිරිසක් සිටින බව පෙන්වා දුන් මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් ‍සොයා ගැනීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‚ මෙයට විශේෂ ජනාධිපති කොමිසමක් ද පත් කර එහි අවසන් වාර්තා ද  ඉදිරිපත් කර ඇති අවස්ථාවක මෙවැනි කුමන්ත්‍රණයක් සිදු කරන්නේ එජාපය 16 වෙනිදා ලැබෙන නියත පරාජය හමුවේ වියරු වැටී සිටින නිසා බව ද පෙන්වා දුන්හ.