සජිත් පරදින බව අනුර කලින්ම කියලා; ජවිපෙ එජාපයෙන් වෙන්වීමේ රහස කරළියට එයි

ඉදිරි මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා නියත වශයෙන් පරාජයට පත්වන බව ජනතා විමුක්ති පෙරමුණෙහි නායක අනුර කුමාර දිසානායක මහතා කල්තියාම ප්‍රකාශ කර ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.


අපේ්්‍රල් 21 වෙනි දා පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් අනතුරුව දිවයිනම ආවරණය වන පරිදි රහසිගතව සිදුකළ අහඹු සමීක්ෂණ වාර්තා තුනක ප්‍රතිඵල අනුව ඉදිරි ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය හා අනෙකුත් සියලු පක්ෂ සන්ධානගත වී සියයට හතළිස්පහක (45%) උපරිම ඡන්ද ප්‍රමාණයක් පමණක් ලබා ගන්නා බවට අනාවරණය වී ඇත.


ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා යෝජනා කර ඇත්තේ ආණ්ඩු පක්ෂය සමග සන්ධාන ගතවීමක් හෝ පසුගිය 2015 ජනාධිපතිවරණයේදී මෙන් කිසිදු අපේක්ෂකයකුට සහය නොදී සිටීමේ ස්ථාවරයෙන් බැහැරව සිය පක්ෂය විසින් ජනාධිපතිවරණයට තනිව ඉදිරිපත් වන බවයි.


එහිදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව වී ඇත්තේ කෙසේ හෝ සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කොට පරාජයට පත්වීමෙන් අනතුරුව දීර්ඝ කාලීනව අභියෝගයකින් තොරව පක්ෂයේ බලය තවදුරටත් තමන් වෙත නතුකර ගැනීමටය.


ඒ අනුව මංගල සමරවීර මහතාව හා මලික් සමරවික්‍රම මහතාව සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ පූර්ව ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යෙදවූ බවද රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයකු තහවුරු කරයි.


කෙසේවුවද මෙම පසුබිමත් සමග ඉදිරියේදී ජනාධිපතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ අභ්‍යන්තරයෙන් විශාල අභියෝගයක් එල්ල වීමට නියමිත බව ද අදාළ සමීපතමයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.


අදාළ සමීපතමයාගේ හෙළිදරව්ව කෙතෙක් දුරට සත්‍ය දැයි තහවුරු වන්නේ හිටි හැටියේම සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයන් වූ මංගල සමරවීර මහතාගේ හා මලික් සමරවික්‍රම මහතාගේ හැසිරීමෙන්ම නොවේ. සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ වැඩකටයුතු සියල්ලක්ම අවුල් කරමින්, රැස්වීම් සඳහා පාක්ෂිකයන් වෙනුවෙන් නිවේදන නිකුත් නොකරන හා මැතිවරණ කටයුතු වෙනුවෙන් පක්ෂ අරමුදලින් මුදල් ලබා නොදෙන පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ උභතෝකෝටික රඟ දැක්වීම මතය.