සමහරු අවසර නැතිව PCR පරීක්ෂණ සිදුකරනවා..! ආසාදිත පුද්ගලයින් හැංගෙනවා..! යුධහමුදාපති

කොවිඩ්-19 වෛරසය සඳහා සිදුකරනු ලබන අනුමත පරීක්ෂණ ක්‍රමවේදය වෙනස් කරමින් ඇතැම් පෞද්ගලික අංශයේ රෝහල් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිසිදු අවසරයක් නොගෙන ප්‍රාදේශීය වශයෙන් කුඩා රසායනාගාරවල සහ ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කිරීමට උත්සාහ දරණ බව විමර්ශණය වී ඇති බවට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ප්‍රතිදේහජනක හා PCR පරීක්ෂණ සඳහා පැමිණෙන පුද්ගලයින් සඳහා එම වාර්තා ලබාදෙන තුරු රැඳී සිටීමේ ස්ථානයක රඳවා තබා ගැනීම පෞද්ගලික අංශයට අනිවාර්ය වන අතර නමුත් එම ක්‍රියාවලිය එසේ සිදු නොවන බව නිරීක්‍ෂණය වී තිබෙන බවත්  වෛරසය ආසාදිත වී සිටින පුද්ගලයින් ද ඔවුන් වෙත ලබාදී ඇති සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන් නිසි අයුරින් පිළි නොපදි බවට ද පැමිණිලි ලැබී ඇති බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

මෙවැනි ආසාදිත පුද්ගලයින් රෝහල්වලට පමණක් සීමා නොවී ඉන් පළා යාම හේතුවෙන් වෛරසය අන් අයට ආසාදනය වන ආකාරයට විවිධ ස්ථානවල සැඟවී සිටින බැවින් එම ක්‍රියාවන් හේතුවෙන් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සිදුකරනු වැඩපිළිවෙල අසාර්ථක වන බව යුද හමුදාපතිවරයා පවසා සිටිනවා.

පුද්ගලික අංශයේ රසායනාගාර ඉහළ කළමනාකරණ නියෝජිතයින් සමග රාජගිරියේ පිහිටි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති සාකච්ජාවකදී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ බව පැහැදිලි කර සිටියා.

” ඇතැම් පුද්ගලික අංශයේ රෝහල් විසින් අමාත්‍යාංශයෙන් කිසිදු අවසරයක් නොගෙන ප්‍රදේශිය වශයෙන් කුඩා රසායනාගාරවල PCR සහ ප්‍රතිදේහජනක පරීක්‍ෂණ සිදු කිරීමට උත්සාහ දරණ බව හෙළිවී තිබෙනවා. අනුමත විධිවිධාන හා මාර්ගෝපදේශයන්ට අනුකූලව එවැනි පරික්‍ෂණ සිදුකිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබාදී ඇත්තේ ඉහළ තාක්‍ෂණික මට්ටමකින් පවතින විද්‍යාගාර 30 කට පමණක් බවයි මෙහිදී යුද හමුදාධිපතිවරයා පැවසුවේ. 

එමෙන්ම පුද්ගලික අංශය සදහා ගාස්තු අයකරන (BOI සමාගම් සේවකයින් සඳහා) රුපියල් 6750 ක් නොවෙනස්ව පැවතුනද, ඊයේ දිනයේ පමණක් PCR පරීක්‍ෂණ 18,000 ක් සිදුකර ඇති බව සඳහන් කළ එතුමන් එවැනි පරීක්‍ෂණ සඳහා දැනට පවතින මිළ පරාසයන් මහජනතාවගේ පහසුව සඳහා තවදුරටත් අඩුකළ හැකි නම් වඩා හොඳ බවත් ලබාදී ඇති බලතල අනිසි ලෙස භාවිතා නොකරන ලෙස මෙහිදී  ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා රසායනාගාර ඉහළ කළමනාකරණ නියෝජිතයින්ට දැනුම් දී සිටියා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මෙහිදී වෛද්‍ය රසායානාගාර තාක්‍ෂණ ශිල්පීන්ගෙන් ඉල්ලා සිටියේ කොවිඩ් වෛරසය සම්බන්ධයෙන්පරීක්ෂණ සඳහා වන මාර්ගෝපදේශ හා රෙගුලාසි දැඩි ලෙස පිළිපැදිය යුතු බවත් වැරදි ක්‍රියා පිළිවෙත් අනුගමනය නොකර පරීක්ෂණ ක්‍රමවේදයේ ඉහළම මට්ටම්වල විශ්වසනීයත්වය සහතික කරන ලෙසයි.

රාජගිරියේ පැවති මෙම විශේෂ සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින්, රාජ්‍ය අංශයේ රෝහල්වල සාමාජිකයන්, කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ තවත් ආයතන කිහිපයක නිලධාරීන් සහභාගී වූහ. තවද, රසායනාගාර බලධාරීන්, පෞද්ගලික අංශයේ රෝහල් පරිපාලකයින් ගෙන් යුත් කණ්ඩායමක් ද සහභාගී විය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *