පෙබරවාරි 05 මහ රෑ මැතිසභය විසුරුවයි..! මැතිවරණ 03ක් එකපිට.!

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බලතල ප්‍රකාරව 2023 පෙබරවාරි 05 වැනිදා රාත්‍රී 12ට පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බලතල ලැබෙන බවත්, ඒ අනුව එදිනම රාත්‍රී 12ට පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ආණ්ඩුවට සමීප විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විටත් ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දමා ඇති අතර, එය 2023 මාර්තු 20 වැනි දිනට පෙර පැවැත්වීමට තීන්දුවී ඇති නිසා මහ මැතිවරණය මාර්තු 20 වැනි දිනට ප්‍රථම දිනයක පැවැත්වීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව ආණ්ඩුවේ සැලසුම වී ඇත්තේ සියලු පළාත් පාලන ආයතනවල බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව පැවැතියදීම මහ මැතිවරණය පවත්වා අවසන් කිරීමටය.

එම මහ මැතිවරණයට මුහුණ දීම අරමුණු කරගෙන මෙම වසරේ අවසානයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2023 වසරේ අයවැය යෝජනාවලියේදී ජනප්‍රිය යෝජනා රැසක් ඉදිරිපත් කරමින් ජනතාවට සහන ලබාදීමත්, ඒ හරහා ආණ්ඩුවට වාසිසහගත තත්ත්වයක් නිර්මාණය කරගැනීමටත් ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.

මීට අමතරව 2024 වසරේදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර එය කිසිසේත්ම ඉදිරියට නොගැනීමටද ආණ්ඩුව තීන්දු කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම මහ මැතිවරණයට කලින් කිසිසේත්ම පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමටද ආණ්ඩුව දැඩි තීන්දුවක් ගෙන ඇති බවද වාර්තා වේ.

ඒ අනුව මහ මැතිවරණය පවත්වා අවසන් වීමත් සමග පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත්, ඉන් අනතුරුව ඉන්දියාවට ලබාදී ඇති පොරොන්දුවට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමටත් ආණ්ඩුව තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.

මේ අතර මහමැතිවරණය සදහා පක්ෂය සූදානම් කිරීමේ අරමුණින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දිනයේදී සියලුම ප්‍රාදේශීය සභා සභාපතිවරුන් කැඳවා ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව අරලිය ගහ මන්දිරයේදී අද දහවල් මෙම රැස්වීම කැදවා ඇති බව වාර්තා වේ.

මෙහිදී මෙවර අයවැයෙන් පළාත් පාලන ආයතන සදහා වෙන් කර ඇති අතිවිශාල මුදල් ප්‍රමාණය සභාපතිවරුන් වෙත ලබා දීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතය.

එමෙන්ම මෙම මුදල් මෙම වසර අවසානයට පෙර ගමේ සංවර්ධනය වෙනුවෙන් යොදවන ලෙස දැනුම් දීමට නියමිත බවද දැනගන්නට ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *