රන්ජන් නන්දසේන ආණ්ඩුවේ උගුලට හසුවේද..? Exclusive

රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාගැනීම පිළිබඳව කතාබහ මේ වනවිට නැවත දේශපාලන තලයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද අන්තර් පාර්ලිමේන්තු සංගමය විසින් ද මෙයට පෙර රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන මෙන් අවධාරණාත්මක ලිපියක් ද රජයට යොමු කර තිබේ.

තත්ත්වය එසේ තිබියදී රන්ජන් නිදහස් කරගැනීමේ මෙහෙයුමට ජනාධිපතිවරයාට අතිශය සමීප, තීරණ ගැනීම සඳහා බලපෑම් කලහැකි ප්‍රධානම පුද්ගලයෙක් වන නිශ්ශංක සේනාධිපති මහතා රන්ජන් නිදහස් කරගැනීමේ මැදහත් භූමිකාවට අවතීර්ණ වී ඇති බවක් දක්නට ලැබේ.

එම මැදිහත්වීමෙ එක් අංගයක් ලෙස රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා අර්ජුන් කමලනාත් සහ ගීතා කුමාරසිංහ ඇතුළු පොදුජන පෙරමුණේ කලා කරුවන් විසින් සකස්කරන ලද ලිපියක් ජනාධිපතිවරයා වෙත භාරදීම සඳහා නිශ්ශංක සේනාධිපති වෙත බාරදීම පසුගිය දා සිදුවිය.

සේනාධිපති ගේ මැදිහත්වීම දේශපාලන උගුලක පෙරනිමිති ද?

රන්ජන් සිරගත වීමේ හේතුව සහ පාර්ලිමේන්තු වේ විපක්ෂ භූමිකාව තුළ මේ වන විට පවතින දේශපාලන සන්දර්භය අප මෙහිදී විමසා බැලිය යුතුය.

සත්‍යවශයෙන්ම රන්ජන් සිරගත වන්නේ අධිකරණයට අපහාස කිරීම යන චෝදනාව යටතේය. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව ලංකාවේ නීතිය තුළ විධිමත් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන දක්නට නොලැබේ. ඉන්දියාව පාකිස්තානය සහ එංගලන්තය වැනි රටවල අදාළ ක්ෂේත්‍රයේ නීතිමය තත්ත්වයට සාපේක්ෂව ලංකාවේ ඒ සම්බන්ධව ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් හි හිස් තැනක් පවතී.

නමුත් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුව සභා ගැබ තුළ පුළුල් භාෂණයේ නිදහසක් පවතින අතර ඒ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිය. ඒ අනුව රන්ජන්ට වැරදුනේ රන්ජන් පාර්ලිමේන්තුව තුළ කිව යුතු දෙයක් එළියේ කිවු නිසා බවට ඕනෑනම් කෙනෙකුට තර්ක කල හැක.

දැන් ආණ්ඩුවට බරපතලම හිසරදයක් වී ඇති විපක්ෂ මන්ත්‍රීවරයා වන්නේ හරීන් ප්‍රනාන්දුය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු රජය විසින් සිදු කරන ආකාරයේ අපැහැදිලිතාවය පිළිබඳවත් විශේෂයෙන් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති විශේෂ කොමිසමේ වාර්තාව මේ දක්වා සම්පූර්ණ ලියවිල්ලක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමත් මූලික කරගෙන හරීන් විසින් දැඩි විවේචනයක් මේ මොහොතේ රජයට එල්ල කරමින් සිටී. ආණ්ඩුවට මේ මොහොතේ අවශ්‍ය වන්නේ කෙසේ හෝ හරීන්ව නිහඬ කිරීම බව තේරුම් ගැනීමට අමුතුවෙන් දේශපාලන විශ්ලේෂණ අවශ්‍ය වන්නේ නැත.

ඒ සඳහා ආණ්ඩුව ගසන්නට යන ගේම රන්ජන් නිදහස් කිරීමට. නිශ්ශංක සේනාධිපති මේ කටයුත්තට මැදිහත් වන්නේ ඒ නිසාය. ඒ මොන අපභ්‍රංශයක් ද? කෙනෙකුට එසේ සිතීමට පුළුවන. එහෙත් කටුක යථාර්ථය එයයි.

රන්ජන් නිදහස් වී පැමිණෙන්නේ නම් ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරය රන්ජන්ට ලබාදී තමා පාර්ලිමේන්තුවෙන් ඉවත්වීමට සූදානම් බව හරීන් ප්‍රනාන්දු විසින් මෙයට පෙර ප්‍රකාශ කර් තිබේ. ආණ්ඩුවට දැන් වුවමනා කරන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයමින් ආණ්ඩුව ප්‍රශ්න කරන හරීන්ගේ කට නිහඬ කර ඒ වෙනුවට රන්ජන් කරලියට ගෙන ඒමය.

රන්ජන් ගේමට හසුවේද?

‘මල්ලි හොරු අල්ලන්න බෑ මල්ලි. ඒ හැමෝම යාළුවෝ මල්ලි’ යයි කීවේ රන්ජන් ය. එසේ කිවූ රන්ජන් දැන් ඒ ගජමිතුරු යාළුවන්ගෙන් කෙනෙකු වන්නේද නැද්ද යන්න තීරණය කිරීමේ හැකියාව ඇත්තේ ද රන්ජන්ට ය.

රන්ජන්ට වුවමනා නම් හරීන්ට ඉල්ලා අස් නොවන ලෙසත් තමා හරීන්ගේ අසුන අරන් පාර්ලිමේන්තු එන්නේ නැති බවත් ප්‍රකාශ කල හැක. ඒ වෙනුවට තමා බස්නාහිර පළාත් සභා මහ ඇමති අපේක්ෂකයා වන බව හෝ ඊළඟ මහ මැතිවරණයට සූදානම් වන බව ප්‍රකාශ කලහැක. නමුත් එය තීරණය වන්නේ නිශ්ශංක සේනාධිපති හා රන්ජන් අතර ඇතිවන්නේ කුමන ආකරයේ සම්බන්ධයක් ද යන්න මත වේ. යම් හෙයකින් රන්ජන් හරීන්ගේ අසුන රැගෙන පාර්ලිමේන්තු පැමිණීමට තීරණය කලහොත් අපට තීරණය කළහැකි වන්නේ රන්ජන්ගේ නහයට සේනාධිපති ගේ ලණුව වැටී ඇති බවකි. ඒ අනුව රන්ජා ඇත්තටම වන්ෂොට් ද ගොන්ෂොට් ද යන්න ජනතාවට තීරණය කළහැකි වනු ඇත.

හරීන්ට මොකද වෙන්නෙ?

හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවෙන් එලියට පැමිණිය හොත් එක්කෝ ඔහු පාස්කු ප්‍රහාරය සම්බන්ධව රජයට එල්ල කරන් විවේචනයක් අල්ලාගෙන ඔහුව අත්අඩංගුවට ගත හැක. නැතහොත් රන්ජාට කල ආකාරයෙන්ම අධිකරණයට අපහාස කිරීමක් පිළිබඳව සිවිල් පුද්ගලයකු ලවා නඩුවක පැටලවිය හැක. හරීන්ව පාර්ලිමේන්තුවෙන් එලියට ගතහොත් පාස්කු ප්‍රහාරය පිළිබඳව සහ රජයේ විමර්ශන පිළිබඳව ඔහු කරන ප්‍රකාශයන් සහ විවේචනයන් පාර්ලිමේන්තු හැන්සාඩ් ගතවන්නේ ද නැත. හරීන්ව හුදකලා කර දේශපාලන ජීවිතය අවසන් කර දැමීමට ද එය පදනමක් කරගත හැකිය. ආණ්ඩුව ගසන්නට හදන්නෙ එම ගේම බව පෙනෙන්නට තිබේ.

සජිත් කුමක් කරයි ද?

සජිත්ට ද හරීන් වැනි ආකර්ෂණීය නායකත්වීය පෞරුෂයක් පිළිබඳව හීනමානයක් ඇති නොවීමට හේතුවක් නැති බව සජිත්ගේ අතීත දේශපාලන භාවිතාව අනුව නිගමනය කළහැක.
සජිත් මෙන්ම සජිත්ගේ හිතවාදී හර්ෂණ රාජකරුනා සහ කාවින්ද ජයවර්ධන වැන්නන්ට ගම්පහින් හරීන් ඉවත්වනවාට එමනිසා යටිසිතින් කැමති වන්නට පුළුවන. එමනිසා හරීන්ගේ ඉවත්වීමට ඔවුන් ද වඩාත් පහසුවෙන් ඉඩහසර සැලසීමට වැඩි ඉඩකඩක් තිබේ.

විපක්ෂය චෙක්මේට් කරන සේනාධිපති ගේම හරි යයි ද?

සේනාධිපති විසින් දියත් කරන්නට යන විපක්ෂය චෙක්මේට් කරන ගේම හරියනවාද නැද්ද යන තීරණය සම්පූර්ණයෙන්ම ඇත්තේ රන්ජන් අතේ සහ සජිත් අතේය. රන්ජන්ට වුවමනා නම් හරීන්ට ඉල්ලා අස්වෙන්නට එපා යයි ප්‍රකාශ කරන්නට හැකියාව තිබේ. නමුත් එය තීරණය වන්නේ රන්ජන් සහ සේනාධිපති අතර ඇතිවන එකඟතාවයේ ස්වභාවය අනුවය. අනෙක් අතට සජිත් ප්‍රේමදාසට වුවමනා නම් හරීන් වැනි ප්‍රබල චරිතයක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව අවධාරණය කරමින් මයන්ත දිසානායක වැනි නිහඬ චරිතයකට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී මධ්‍යම පළාත් සභාවේ මහ ඇමති තනතුරට තරඟ කරන් ලෙසත් එම අසුන රන්ජන්ට ලබාදෙන ලෙසත් ප්‍රකාශ කළ හැක.

මේ සියල්ල තීරණය වන්නේ ආණ්ඩුව සහ විපක්ෂය දේශපාලන බල සූදුවට අල්ලන ඔට්ටුවේ ස්වභාවය මතය. හරීන් වැනි අවංක අනාගතයක් ඇති නායකයකු බිලි දීමට ආණ්ඩුවත් විපක්ෂයේ ඇතැමුනුත් එක්ක ක්‍රියා කරයිද යන්න අප දන්නේ නැත. නමුත් විපක්ෂයේ ජනත හඬ එවැන්නක් සිදුවන්නේ නම් එයට එරෙහිව වහා අවදිවිය යුතුය.

කීර්ති වාසලමුදලි

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *