නිදහස් දිනයේදි ආණ්ඩුවේ ලණු ගිල්ල මෝඩ ගඩෝල සජිත්..!

ආණ්ඩුව නිදහස් දිනයේ විපක්ෂයට කොහු අඹරාගෙනම ගිලින්නට ලණුවක් දුන්නේය. රංජන් රාමනායක පමණක් නොව විපක්ෂයේ බහුතරයක් ‘රංජන්ට නිදහසට නිදහස’ ලණුව ගිල්ලේය. වැලිකඩට ගොස් කොහු ටික අඹරාගෙනම ලණුව ගුද මාර්ගය දක්වාම ගිල්ලේ සජිත් ප්‍රේමදාස ය.

ආණ්ඩුවට රංජන් නිදහස් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. ඒ බව නොතේරෙන්නේ විපක්ෂ නායක ඇතුළු සමගි ජනබලවේගයේ අතදරුවන්ට පමණී.

ආණ්ඩුවට, රංජන් රාමනායක යනු දුර්වල විපක්ෂය තවත් දුර්වල කිරීමට යොදාගත හැකි ‘නයිට් ඉත්තෙකි’. ඉස්සර යුධ පිටියේ අශ්වයා දෙසැරයක් දෙපැත්තට කැරකැවූ විට සතුරා අන්දමන්ද කළ හැකි යැයි කතාවක් තිබුණි. ආණ්ඩුව රංජන් අශ්වයා දෙපැත්තට කරකවා සජිත් ප්‍රමුඛ විපක්ෂය අන්ද මන්ද කළේය.

නිදහස් දවසේ රංජන් නිදහස් කිරීම තනිකරම ‘ස්ප්‍රිං ඩොක්ටර්’ ලාගේ වැඩකි. ඒ ප්‍රචාරය යැව්වේ ආණ්ඩුවේම උදවියයි. කටකතාව රට පුරා ගියේය. දැන් ආණ්ඩුව විසින් මෙහෙයවන රංජන් ගේ පිටුවේ ‘ඇඩ්මින්’ වැඩේට ලොකු ප්‍රචාරයක් දුන්නේය.

සජිත් ප්‍රේමදාස යනු අමු මැට්ටෙන් හැදූ ‘මෝඩ ගඩොලකි’.
ඉස්සර විකල්ප ආණ්ඩුව ලෙස සැලකුණු ‘විපක්ෂයේ’ නිදහසට රංජන් නිදහස් කිරිල්ල අලින්ගෙයි අපෙයි වැඩක් බවට පත් කර ගන්නට උත්සාහ කළේය. එහි කසකරුවන් බවට පත් වූවේ සජිත් – ජලනි කියන ඕනෑ ම දෙයක් මයික් ඉස්සරහා වමාරණ සජබ වෘත්තීය සමිති නායකයින් ය. වැඩේ නැගලා ගියේ සජිත් ප්‍රේමදාස තකහනියක්ම වාහන පෙළපාලියකින් රංජන් බලන්නට හිරගෙදරට ගොස් “හෙට රංජන් නිදහස් කරන බව මට ස්ථිරයි” කියූ නිසාය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිට ‘නිදහස් දිනය’ යනු වසරේ දැවැන්තම ප්‍රචාරක දිනයයි. සෝවියට් දේශය ‘විප්ලවයේ දිනය’ සමරනවා වාගේය. ස්ටාර්ලින්, කෘෘෂෙප් ‘ලෝක කම්කරු දිනය’ සමරනවා වාගේය. කතෝලිකයින්ට ‘නත්තල’ වාගේ ය. බෞද්ධයින්ට ‘වෙසක් දවස’ වාගේය.

එහෙව් දවසක ජනාධිපති ගෝඨාභය ගේ නාට්‍යයට උඩින් යන ප්‍රවෘත්තියක් ආණ්ඩුවම නිර්මාණය කර ගන්නේ යැයි සිතන්නට තරම් විපක්ෂ නායකයාත්, විපක්ෂයත් අඳබාලයෝ වූහ. සජිත් ප්‍රේමදාස යනු අමු මැට්ටෙන් හැදූ ‘මෝඩ ගඩොලකි’.

හරීන් ප්‍රනාන්දු දඩයම් කිරීමේ මෙවලම..
රංජන් එළියට ‘නිදහසට නිදහස් කිරීමේ’ නාටකයේ පිටපත ලියවෙන්නේ හරීන් ප්‍රනාන්දු දඩයම් කිරීමේ මෙවලම ලෙසය. ‘සර් ෆේල්’, පාස්කු ප්‍රහාර අනාවරණය, බිය නැති වචන හරඹය නිසා හරීන් කොටු කර ගැනීමට නම් පාර්ලිමේන්තුවෙන් එළියට ගත යුතුය. රංජන් නිසා කළු සාටකයක් පළඳින, රංජන්ට තම ජාතික ලැයිස්තු අසුන දෙනවා යැයි කියූ හරීන් ගෙන් මන්ත්‍රී ධූරය ලබා ගන්නවා නම් රංජන් නිදහස් කිරීම ගණුදෙනුවේ කතාවයි.

කාලයක් දෙමස්සිනා ලා වූ සජිත් – හරීන් දැන් එකිනෙකාගේ මූණ බලන්නේ නැත. සජිත් ගේ රැස්වීම්වලට හරීන් එන්නේම නැති ගානය. සජිත් ට තර්ජනයක් වන නායකයින් වේදිකාවෙන් ඉවත් කිරීමට වැඩිපුරම උත්සාහ කරන්නේ ආණ්ඩුවයි. චම්පික හිරේ දාන්නට ආණ්ඩුව තරමටම සජිත්ට ත් දැන් අවශ්‍යව ඇත්තේය. සමහර විට ආණ්ඩුවටත් වඩා උනන්දුය.

නත්තල් දවසේ රංජන් බලන්නට ගොස් රංජන් නිදහස් කරව් කියා මතයක් ගොඩ නගන්නට හරීන් ප්‍රනාන්දු උත්සාහ කළේය. දවස් කිහිපයක් සජිත් ප්‍රේමදාස තනියම රංජන් බලන්නට ගොස් “රංජන් නිදහස් කර ගන්නට මම දැවැන්ත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා” යැයි වොයිස් කට් එකක් දුන්නේය. හරීන් හදන්නට හැදූ ජනතා පෙළ ගැස්ම මොට කර දැමීය. සජිත් ට ආයෙත් රංජන් මතක් වූවේ ‘නිදහස් දවසට රංජන් නිදහස් කරනවා’ යැයි ආණ්ඩුවේ ෆේස් බුක් නඩය පෝස්ට් දමන්නට, වොයිස් කට් දෙන්නට පටන් ගත් විටය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රංජන් නිදහස් කිරීම සඳහා සමාජ ව්‍යාපාරයක් තබා ‘වොයිස් කට් ව්‍යාපාරයක්’ වත් කරන්නේ නැත. ආණ්ඩුව රංජන් නිදහස් කළොත් ‘මේවා අලින්ගෙයි අපෙයි වැඩ’ කියන්නට සජිත් ට ලොකු හදිස්සියක් තිබේ.

සජිත් කටක් හෙල්ලුවේ නැති හැටි…
2000 වසරේ පාර්ලිමේන්තුව පැමිණි සජිත් ප්‍රේමදාස එදා මෙදා තුර කිසිදු මානව හිමිකම් උල්ලංඝණයක කිරීමක් ගැන කටක් හෙල්ලුවේ නැත. කිසිදු මිනිහෙකුට පීඩාවක් වන විට එයට පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිටත හෝ අඩුම ගානේ පුවත්පත් නිවේදනයක් හෝ කළේ නැත. කිසිම ජාතික ප්‍රශ්නයක දී තමන්ගේ අදහස ප්‍රතිපත්තිය කෙළින් කිව්වේ නැත. ලංකා ඊ නිවුස් ගිණි තියන විට එයට විරුද්ධව වචනයක් කිව්වේ නැත. අපේ ප්‍රගීත් එක්නැලිගොඩ උස්සන් ගිහින් මරා දමන විට ඒ ගැන වචනයක් කිව්වේ නැත. ඊ නිවුස් ආරක්ෂක වාර්තාකරු කීර්ති රත්නායක ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා ගත් විට කීර්ති ගේ හිතවතුන් මේ අවනඩුව විපක්ෂ නායක සජිත් ට කිව්වේය. සජිත් පණිවුඩකරුට කිවේවේ “ඔයා නෙවෙයි, ඒ මාධ්‍යවේදියාගේ බිරිඳට මට කතා කරන්න කියන්න” කියාය. අද වෙනකල් සජිත් ඊ නිවුස් ආරක්ෂක වාර්තාකරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තබා ගැනීම ගැන වචනයක් කිවේ නැත. සජිත් මෝඩ ගඩොලක් වන්නේ ඒ නිසාය.

ජනාධිපතිවරණයේ දී සජිත් නැගෙනහිර පළාතේ වේදිකාවක් වේදිකාවක් ගානේ අරගෙන ගියේ අසාද් සාලි හිටපු ආණ්ඩුකාරවරයා ය. පොලිස් ඇමති සරත් ගේ උවමනාවට අසාද් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රදවා තබන විට සජිත් තම ජාතික ලැයිස්තු අපේක්ෂකයා ගැන පාර්ලිමේන්තුවේ වචනයක් කිව්වේ නැත.

ප්‍රභාකරන්ගේ පින්තුරයක් මැසෙන්ජර් මගින් හුවමාරු කර ගත්තේය වන චෝදනාව යටතේ එරාවූර් තරුණයින් පිරිසක් මාස 14 ක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ හිරේ දැම්මේය. සජිත් ට වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබා දුන් නැගෙනහිර වැසියෝ මේ අවනඩුව සජිත් ට කිව්වේය. පාර්ලිමේන්තුවේ හැමදාම උදේ ගල උඩ දේශනාව කරන සජිත් මේ තරුණයින් ගැන වචන පහක් වැය කළේ නැත.

සජිත් යනු ‘මෝඩ ගඩොලක්’ ම ය..
‘මෝඩ ගඩොල්’ කියන්නේ අවුරුදු පහ හයක් පවතින්නට හදන ගොනැගිල්ලක බිත්ති බදින්නට අමු මැට්ටෙන් කපා ගන්නා ගඩොලට ය. මෝඩ ගඩොලෙන් රුවන්වැලි සෑය, ජේතවනය, අභයගිරිය බැන්දේ නැත. සජිත් යනු ‘මෝඩ ගඩොලක්‘ මිස දේශපාලන හයියක් ඇති නායකයෙකු නොවේ.

රංජන් රාමනායක ලඟදීම දවසක නොසිතු මොහොතක, කිසිවෙකුගේ අවධානය යොමු නොවන හුදෙකලා දවසක නිදහස ලබනු ඇත. අද හිර ගෙදර අන්ත දුක් විඳින, රංජන් අනිවාර්යෙන්ම නිදහස් විය යුතුය. දේශපාලනය ද කළ යුතුය. රංජන් ගේ නිදහස ලැබීම සජිත් වැනි මෝඩ ගඩොලකට බලය ලබා ගැනීමට අවස්ථාවක් නොවිය යුතුය.

-චමිලා සංජීවනී වීරසිංහ

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *