මං මීමුරේ යනවා කිවුවම සමාජ මාධ්‍ය කියන්නේ මම කැලෑ කපන්න යනවා කියලා..! ජනපති නන්දසේන

ග්‍රාමීය පරිසරයට, ගැමියාගෙන් හානියක් නැති බවත්, ගමේ පරිසරය මෙතෙක් රැක ගත්තේ ගැමියා බවත් එතුමා කියා සිටී. මුතුන් මිත්තන් කල සිට පාරම්පරිකව කරගෙන එන වගා වැඩ පරිසරයට හානියක් සේ තමා නොදකින බව ජනාධිපතිතුමා සඳහන් කරයි.

අද (13) පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික්කයේ, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීමුරේ ප්‍රාථමික විද්‍යාලයේ පැවති “ගම සමග පිළිසඳර” 10 වැනි වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

ජන හමුවට සහභාගීවීමට කයිකාවල කණිෂ්ඨ විද්‍යාලයට ගිය ජනාධිපතිතුමා විද්‍යාලයේ සිසුන්, ගුරුවරු සහ දෙමාපියන් සමග සුහද කතා බහක නිරත වෙමින් විද්‍යාලයේ අඩු පාඩු විමසා බැලිය.

SLT මොබිටෙල් ආයතනය කයිකාවල කණිෂ්ඨ විද්‍යාලය සඳහා පරිත්‍යාග කළ සුහුරු පන්ති කාමරය විවෘත කිරීම, මීමුරේ ප්‍රාථමික විද්‍යාලයට ලබා දුන් ලැප්ටොප් පරිගණක යන්ත්‍රය, අධිවේගි අන්තර්ජාල පහසුකම් සහ ඩයලොග් ආයතනයෙන් පිරිනැමූ රූපවාහිනි යන්ත්‍ර හා සබඳතාව විදුහල්පතිවරයාට භාරදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

ලංකා ගමනා ගමන මණ්ඩලය මීමුරේ, උඩුදුම්බර මාර්ගයේ ධාවනය සඳහා අලුතෙන් එක් කළ බස් රථයේ මංගල චාරිකාව ද ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් සිදු විය.

2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කලුතර, මොණරාගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානය යොමු කර විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අරමුණයි. විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අපේක්ෂාවයි.

මහනුවර මහියංගන මාර්ගයේ කි.මි 40ක් දුරින් හුන්නස්ගිරියටත්, එතැන් සිට කි.මි 35ක දුරකින් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලටත් මායිම්ව මහනුවර දිස්ත්‍රික්කයේ එක් කෙළවරක මී මුරේ ගම්මානය පිහිටා තිබේ.

ජනප්‍රවාදවල සඳහන් පරිදි මී මුරේ ගම්මානය රාවණා රජුගේ වාසස්ථානයක්ව තිබී ඇත. මහ රාවණා රජු සමයේ සඳහන් මහා පබ්බත නම් ග්‍රාමය වර්තමානයේ මී මුරේ බවත් ඇතැම්හු විශ්වාස කරති. රාවණා රජු සීතා දේවිය පැහැරගෙන දඬුමොණරයෙන්, ලකේගලට ගොඩබැස ඇති බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.

ලෝක උරුමයක් වන නකල්ස් රක්ෂිතයේ හදවත ලෙස ද මීමුරේ ගම්මානය සැලකේ. කරඹකැටිය, කුඹුක්කොල්ල, පුස්සේඇල, කයිකාවල සහ මීමුරේ යන ග්‍රාමසේවා වසම් උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත්ය.

පවුල් 378ක් වෙසෙන මේ ගම්මානවල ජනගහණය 1127කි. වී ගොවිතැන ගම්වැසියන්ගේ ප්‍රධාන ජිවනෝපාය වේ. තවත් පිරිසක් ගම්මිරිස් ඇතුළු සුළු අපනයන බෝග වගාවෙහි හා කිතුල් ආශ්‍රිත කර්මාන්තවල නිරතව සිටිති.

මාර්ග පද්ධතියේ අසංවර්ධිත බව සහ වගා ඉඩම් අයිතිය නිරවුල්ව නොතිබීම තමන් මුහුණ පා සිටින ප්‍රධාන ගැටළු බව රැස්ව සිටී ජනතාව ජනාධිපතිතුමා හමුවේ විස්තර කළහ.

මාර්ග දුෂ්කරතා පිළිබඳ කළ පැමිණිලිවලට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමා මීමුරේ – හුන්නස්ගිරිය මාර්ගයේ පාලම් දෙක අලුත්වැඩියා කර මාර්ගයේ සංවර්ධනය කඩිනමින් අවසන් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

මැදිවක සිට පල්ලේවෙල, දොඹගහපිටිය සිට 35 කණුව දක්වා, කරඹකැටිය සිට හුළුකැටදෙලගහ යන මාර්ගය ඇතුළුව ගම්මානයේ අතුරු මාර්ග කඩිනමින් පිළිසකර කිරීමටත් තීරණය කෙරිණ.

කයිකාවල, මධ්‍යම බෙහෙත් ශාලාවට වෛද්‍යවරයෙකු අනුයුක්ත කිරීම, ගිලන්රථක් සැපයීම, සහ උඩුදුම්බර රෝහලේ වෛද්‍ය පුරප්පාඩු පිරවීම හා සෙසු යටිතල පහසුකම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා මීමුරේ ප්‍රදේශය සතුව ඇති විභවතාව කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා ත්‍රාසජනක ජල ක්‍රීඩා සහ සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. කදු නැගීම ඇතුළු සංචාරක ක්‍රියාකාරකම් සහ සංචාරකයන්ට ආකර්ශණීය ස්ථාන හඳුනා ගැනීම සහ සංචාරක කර්මාන්තයට පිවිසීම සදහා ප්‍රදේශවාසීන්ට පුහුණුවක් දීම, මීමුරේ ගමට රාජ්‍ය බැංකුවකින් ATM පහසුකම් සැලසීමට පියවර ගැනීම පිළිබඳ ජනාධිපතිතුමා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

එළවළු හා පළතුරු වගා කිරීමේ දී කාබනික පොහොර භාවිතයට ගොවි ජනතාව පෙළඹවීමෙන් සංචාරකයින්ගේ විශේෂ අවධානය මීමුරේ වෙත දිනාගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේය.

ප්‍රදේශයේ එනසාල් වගාව සාකච්ඡාවට ලක් වූ විට ඒ පිළිබඳ විමර්ශනය සදහා කමිටුවක් පත් කොට විධිමත් පියවර ගැනීමේ වගකීම කෘෂිකර්ම අමාත්‍යවරයාට පැවරිණ. ගම්මිරිස් වගාවේ ඵලදාව අඩුවීම ගැන සොයා බැලීමට තීරණය කෙරිණ.

ප්‍රදේශයේ ඉඩම් ගැටළුට කඩිනම් විසඳුම්දී දීමට, විදුලි අලිවැට යතාවත් කර සක්‍රීය කිරීමට කඩිනම්න් පියවර ගත යුතු බව ජනාධිපතිතුමා විසින් නියම කරනු ලැබීය.

මීමුරේ – කුඹුක්ගොල්ල – කයිකාවල විද්‍යාලවල ගුරු හිඟය පියවීමටත්, පරිගණක කාමර, පුස්තකාල ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයටත් උපදෙස් දෙනු ලැබිණ. ප්‍රදේශයේ පෙර පාසල්වල සහ දහම්පාසල්වල අඩු පාඩුකම් සපුරාදීමට ද තීරණය කෙරිණ. පාසල් තුනටම පොදු වන සේ ගුරු නිවසක් ඉදිකර දීම කෙරෙහිත් ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය.

ගම්මානවල ඇල අමුණු ප්‍රතිසංස්කරණය, පානීය ජල ගැටළුවට විසඳුම් දීම ප්‍රදේශයේ තවත් මූලික අවශ්‍යතා දෙකක් ලෙස හඳුනාගෙන ඇත. සන්නිවේදන හා අන්තර්ජාල පහසුකම් කඩිනමින් වැඩිදියුණු කිරීමට ද තීරණය විය. ‍

පුස්සේඇල – කයිකාවල – හසලක – වේරගම ඇතුළු උඩුදුම්බර ප්‍රදේශයේ ගම්මාන රැසක පානීය ජල ගැටළුව කෙරෙහි අවධානය යොමු කර විධිමත් විසදුම් ලබා දෙන්නැයි ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

එමෙන්ම දිවයිනේ සියලු පාසල්වල පානීය ජල අවශ්‍යතා කඩිනමින් සපුරාලියයුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

හුළුකැටදෙලගහ, මඩකුඹුර, නාඇල, කොඩයන්ගලේ සහ පැගිරිමාන අමුණු සහ වැව් 06ක් පිළිසකර කර දෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙලිය රඹුක්වැල්ල යන අමාත්‍යවරු ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, යන රාජ්‍ය අමාත්‍යවරු, වසන්ත යාපා බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උදය චමින්ද කිරිඳිගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු සහ දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් මීමුරේ ප්‍රාථමික විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *