වාද විවාද මැද ජාතික සභාව අද රැස්වෙයි – විපක්ෂය කර අරී !

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ යෝජනාවකින් පාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කෙරුණු ‘ජාතික සභාව’ නමින් හැඳින්වෙන පාර්ලිමේන්තු කාරක සභාව අද (29) පළමු වරට රැස්වීමට නියමිතව තිබේ.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10 යි 30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය.

එහිදි ජාතික සභාවේ මූලික කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

කෙටි, මධ්‍ය සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා සියලු පක්ෂවල එකගතාවයෙන් මගපෙන්වීම ජාතික සභාවේ ප්‍රමුඛ කාර්යයක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉකුත් දා ප්‍රකාශ කළේය.

 ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකගතාව ඇති කර ගැනීම ද එහි තවත් වගකීමකි.

පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් ජාතික සභාව සමන්විත වේ.

කථානායකවරයා සභාපතිත්වය දරණ එම ජාතික සභාවට සභානායකවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, දේශපාලන පක්ෂ නායකයින් විසින් තීරණය කළ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 35 කට නොවැඩි විය යුතු බවට මීට පෙර තීරණය විය.


කෙසේවෙතත් අද පැවැත්වෙන ජාතික සභාවට විපක්ෂ නායකවරයා සහභාගී නොවේ.  මීට පෙර යොදා ගත් ජනහමු කිහිපයකට සහභාගී වීමට නියමිත බැවින් කෙටි දැනුම්දීමකට අනුව ජාතික සභාවට සහභාගී විය නොහැකි බව විපක්ෂ නායකවරයා පවසයි.

මේ අතර සිය පක්ෂවල කිසිඳු මන්ත්‍රීවරයෙකු ජාතික සභාවට එක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ විමල් වීරවංශ කණ්ඩායමේ ‘උත්තර ලංකා සභාගය’ පවසයි.

ජාතික ජනබලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ ඩලස් අලහප්පෙරුමගේ ‘නිදහස් ජනතා සභාව’ ද  ජාතික සභාව නියෝජනය නොකරන බව මීට පෙර නිවේදනය කර තිබිණ.

කෙසේවුවද දෙමළ ප්‍රගතිශීලි සන්ධානය අද පැවැත්වෙන ජාතික සභාවට සහභාගී වන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *