ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායීකරණ අනු කමිටු සාමාජිකයින් පත්කෙරේ

ජාතික සභාව විසින් පත්කළ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායීකරණ අනු කමිටු දෙක සඳහා සාමාජික මන්ත්‍රීවරුන් පත්කර තිබේ.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජාතික සභාවේ දෙවන රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වූ බවය. 

කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මග පෙන්වීමට අදාළව පොදු ප්‍රමුඛතා නියම කිරීමටත්,  ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කර ගැනීම සඳහාත් මෙම අනු කමිටු දෙක පත් කර කිරීමට ජාතික සභා පළමු රැස්වීමේ දි තීරණය වී තිබුණි.

ඒ අනුව කෙටි, මධ්‍යම සහ දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ සාමාජිකයින් ලෙස පවිත්‍රා වන්නිආරච්චි, සාගර කාරියවසම්, වජිර අබේවර්ධන, අසංක නවරත්න, මනෝ ගනේෂන්, රෝහිත අබේගුණවර්ධන, අලි සබ්රි රහීම්, පලනි දිගම්බරම්, රවුෆ් හකීම්, නසීර් අහමඩ්, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සහ ඒ. එල්. එම්. අතාඋල්ලා යන මැති ඇමතිවරුන් පත් කර තිබේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ සාමාජිකයන් ලෙස සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, වජිර අබේවර්ධන, අසංක නවරත්න, රිෂාඩ් බදියුදීන්, පලනි දිගම්බරම්, පාඨලි චම්පික රණවක, සිසිර ජයකොඩි, එම්. රාමේෂ්වරන්, මනෝ ගනේෂන්, ටිරාන් අලස්, නසීර් අහමඩ්, ඒ. එල්. එම්. අතාවුල්ලා යන මැති ඇමතිවරුන් පත් කර ඇති බවය.

ඒ අනුව මෙම අනු කමිටු දෙක අද දිනයේ රැස්වීම සඳහා ජාතික සභා රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේය.

ජාතික සභාව කතානායකවරයාගේ සභාපතීත්වයෙන් රැස්වන අතර අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, ආණ්ඩු පක්ෂයේ  ප්‍රධාන සංවිධායකවරයා, විපක්ෂ නායකවරයා මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නිල බලය අනුව එහි සාමාජිකයින් වෙයි.

මීට අමතරව පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් ද ජාතික සභාව සමන්විතය.

මේ අතර පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.15ට මෙම පක්ෂ නායක රැස්වීමට පැවැත්වීමට නියමිත බවය. 

මේ අතර අද පාර්ලිමේන්තුව අද උදෑසන 9.30ට රැස්වීමට නියමිත අතර පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටු රැස්වීමක් ද අද පස්වරු 2ට ආරම්භ වීමට නියමිතය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *