හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ 50 වෙනි ගුණ සමරුව හෙටයි

ලංකාවේ ප්‍රථම සිංහල පුරාවිද්‍යා කොමසාරිස් වරයා වු මහචාර්ය සෙනරත් පරණවිතාන මහතා අභාවප්‍රාප්ත වී හෙටට (ඔක්තෝබර් 04) 50 වසරක් සම්පූර්ණ වේ.


දකුණු සිරිලක ගාල්ලේ මැටරඹ ගම්මානයේදි 1896 වසරේ ජන්ම ලාභය ලැබූ සෙනරත් පරණවිතාන මහතා පාසල් අධ්‍යාපනයෙන් පසු ගුරුවරයෙකු වශයෙන් සිය ජීවන වෘත්තිය ආරම්භ කළේය. ශිෂ්‍යත්වයක් ලැබ ඉන්දියාව බලා 1923 වසරේදි පිටත් වූ පරණවිතාන මහතා පුරාවිද්‍යා විෂය පිළිබඳ මනා හැදැරිමක් කර ඒ පිළිබඳව නිපුනත්වයක් ලබා ගත්තේය.

එයින් පසු පුරාවිද්‍යා අංශයට එක්වී ලංකාවේ සේවය ආරම්භ කළ එතුමා 1923 සිට 1935 දක්වා කාලය අතර ලංකාවේ වැඩ බලන පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස කටයුතු කළේය. ඒ අතර තුර 1936 වසරේදී එංගලන්තයට ගොස් ලේඩන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවලින් පසුව ආචාර්ය උපාධියක් ද පුරාවිද්‍යා අංශය වෙනුවෙන් ලබා තම දැනුම වඩාත් පුළුල් කර ගත්තේය.

ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරිස් වරයා වශයෙන් 1940 ඔක්තොම්බර් මස 01 වෙනි දින සිය සේවය ආරම්භ කළ පරණවිතාන මහතා 1956 වසර දක්වා සිය මෙහෙවර නොපිරිහෙලා ඉටු කරන ලදි. සීගිරියේ පෞඪ ඉතිහාසය වර්තමාන ලෝකයට ඉස්මතු කර දීමේ ගෞරවය හිමිවන්නේ මෙතුමාටය. සීගිරි කුරුටු ගී කියවා සිංහල භාෂාවට පෙරළු පරණවිතාන මහතා මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රයට සිදු කළ මෙහෙවර ලෝ වැසියෝ අභිමානයෙන් අද ද සිහිපත් කරති.

වසර 76ක් පමණ කාලයක් ලෝ වැඩ පිණිසම දිවිය කැප කර එකී දිවි ගමන මීට වසර පනහකට පෙර 1972 ඔක්තොම්බර් 04 වෙනි දින නිමාවට පත්කළේ පිරවිය නොහැකි හිස් තැනක් මතු කරමිනි.

මහාචාර්ය සෙනරත් පරණවිතාන ශ්‍රීමතාණන්ගේ ගුණ සදා සමරමු.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-10-03

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *