ඇයිද මේ පිස්සෝ කලබල..?

මැතිවරණයක් කැඳවා තිබෙන වටපිටාවේ යළි දේශපාලන බිම උණුසුම් වෙමින් තිබේ. පසුගිය අරගල සමයේදී පැන නැගුණු දේශපාලන ව්‍යාකූලත්වය සමඟ රට අරාජික වීමේ සම්භාවිතාව ඉහළ අඩියකට ගෙන එනු ලැබූ අතර එමඟින් සිදු වූයේ රට තවදුරටත් ආර්ථික වශයෙන් කඩා වැටී රට පවත්වාගෙන යෑමට නොහැකි තැනට ඇද වැටීමය. ඒ හැර එම අරගලයෙන් ලැබුණු ප්‍රගතිගාමී දෙයක් නොවීය. එහෙත් දේශපාලනයේ පරිණතබාවය් නිසාම රනිල් වික්‍රමසිංහ රටේ නායකත්වය බාරගෙන ගත් කඩිනම් පියවරයන් නිසා රට සුරැකිනි ජනතාව සුරැකිනි. එසේ නොවනන්ට සිදුවිය හැකිව තිබුණේ මහා විනාශයක් බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. මෙම තීරුවේම කිහිප වතාවක්ම ඒ ගැන පැහැදිලි කිරීම් කර තිබේ.

කොහොම නමූත් දැන් නැවත රට දේශපලනිකව ව්‍යාකූල කර දේශපාලන බලය ඩැහැගැනීමේ කුමන්ත්‍රණ දියත් වෙමින් තිබේ. මැතිවරණයක් කැඳවා තිබුණද මැතිවරණයෙන් තම තමන්ගේ බලය උරගා බැලීමෙ ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාවක් උදාකර තිබුණද ආණ්ඩු විරෝධී කොටස් උත්සහ කරමින් සිටින්නේ මැතිවරණයෙන් ඔබ්බට ගොස් බලය පැහැර ගැනීමෙ උත්සාහයක් බව සැක කළ හැකිය. ඊනියා අරගලය මධ්‍යයේ හිටපු ජනාධිපතිවරයා බලය අත්හැර පලා ගියා සේ, පැවැති ආණ්ඩුව බලය අත්හැරියා සේ මෙවර හෝ ජනාධිපති රනිල්ව පලවා හැර ආණ්ඩුව පලවා හැර බලය අත්පත් කරගත හැකියැයි සිතා ආණ්ඩු විරෝධි පිරිස විවිධ මුහුණුවරින් ක්‍රියාත්මක් වෙමින් තිබේ. ජවිපෙ (ජාජබ) නායක අනුර කුමාර ප්‍රසිද්ධියේම කියා තිබුණේ මාර්තු 10 වනදා වන විට රනිල්ට පුටුව නැති කරන බවය. ඒ අනුව ජාජබ අනුගාමිකයන් දැන් හැසිරෙන්නේ ඒ බලාපොරොත්තුව ඇතිව වියරු ස්වභාවයකින් බව සමාජ මාධ්‍ය දෙස බැලීමේදී පෙනෙන්ට තිබේ. එමෙන්ම අනුරගේ මාලිමාවට දැන් සැකසී ඇති ෆෙස්බුක් රැල්ල විසින් කියා පාන්නේද එයමය.

ඊනියා අරගලය විසිරුවා හැරීමට රනිල් සමත් වීම තුළ තමන්ට අහිමිවූ අවස්ථාව මාලිමාව වටා එක්වීමෙන් සිදු කළ හැකි සිතන පහළ මධ්‍යම පාංතිකයන් පිරිසක් මාලිමව වටා ගොනුවී සිටින බවත් නිරීක්ෂණය වේ. මෙවර මාලිමාවට යැයි කියමින් සමාජය තුළ හැසිරෙන බොහො පිරිසක් ඒ වටා ගොනුව ඇත්තේ රට මුහුණ දෙන අර්බුදයට නිවැරදි විසඳුම් ක්‍රියාත්මක කළ හැක්කේ මාලීමාවේ නායකයන්ට හෝ එහි ප්‍රතිපත්ති වලට යන විශ්වාසයෙන්, අවබෝධයකින්, දැනීමකින් නොවේ. ඒ හිතන්නවත් අර්බුදය විසඳීමේ හැකියාව මාලිමාවට තිබෙනවා කියන්න තරම් පිළිගත හැකි විසඳුම් ඔවුන් මෙතෙක ඉදිරිපත් කර නැති නිසාය. කොටින්ම විසඳුම් ලෙස නායක අනුර කුමාර පවා කියමින් සිටින්නෙ රනිල්ගේ විසඳුමම පමණකි. ඒ අතර මැතිවරණ වේදිකා මත කියවන විසුළු සහගත සුරංගනා කතන්දර කිසිදා යථාර්ථයක් වන ඒවා ද නොවේ. මේ නිසා මෙවර මාලිමා පාක්ෂීකයන් කියන්නෙ කිසිසේත්ම ප්‍රතිපත්තියක් වැඩ පිළිවෙලක් ගැන අවබෝධයක් ඇතිව ඒ වටා ගෝනු වූවන් නොවන බව ඔවුන් හා කරන සංවාදයන් හී දීද පැහැදිලිව පෙන්නුම් කරයි. බොහො විටම යම් ගැටලුවකට විසඳුම කුමක්ද කියා ප්‍රශ්න කළ විට ‘ඒවා වැඩක් නෑ. හොරු පන්නන්න මේ ගමන අපි මාලිමාව විතරයි දෙන්නේ..‘ කියන තැනට මේ පිරිස් ඔළු ගෙඩි කුරුවල් කරගෙන සිටී. කලින් කී ලෙසම මේ මධ්‍යම පංතික කොටස් වලට ඇත්තේ පරාජිත අරගලයක වාඩුව අත්පත් කරගැනීමේ වුවමනාවය. මේ පිරිස මධ්‍යම පංතිකයන් ලෙස පොදු හැඳින්වීමකට යටත් කළද මේ පිරිස සැබැවින්ම වැඩිපුර මුදල් උපයා ගැනීමේ මාර්ග සොයාගෙන ගමෙන් නගරයේ පදිංචියට ආ පිරිසකි. ඉහළ මධ්‍යම පංතියේ සමාජ සංස්කෘතික ජීවන විලාසයන් අපේක්ෂාවෙන් පසුවන ගැමියන් පිරිසකි. තමන්ගේ අපේක්ෂා විනාශ කළේ පාලකයන්ය කියා හිතන පිරිසකි. කුහකත්වය ඊර්ෂාව වැනි ග්‍රාම්‍ය යැයි කකියන ඇවැතුම් පැවැතුම් ඇති හීනමානයෙන් පෙළුන පිරිසකි. මේ නිසා තමන්ට බලය පිහිටුවන්න හැකිය කියන එකටත් වඩා පවතින පාලනය පෙරළා දැමීමේ වුවමණාව ඉතා දැඩිය.

සජබය ගත්තත් එවැනිම තත්වයක් පෙන්නුම් කරයි. අර්බුදයට නිසි විසඳුම් ඔවුන් ළඟ නැති වුණත් සජබයේ නායකයා වේදිකා ගානේ අපුර්ව කතන්තර ඉදිරිපත් කරමින් යයි. මේවා තනිකර ගොබ්බ කතා වුවත් මෑතක දී භයංකර කතාවක් කියා තිබිණි. ඒ වත්මන් රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන එකඟතාව සජබයේ පාලනයකදී අහෝසි කිරීමට කටයුතු කරන බවය. මෙය සිහි බුද්ධියක් ඇති මනුස්සයෙක් කියන කතාවක් නොවේ. තමන්ගේ මුග්ධ පාක්ෂිකයන් කුල්මත් කිරීම වෙනුවෙන් හෝ මෙවැනි ගොං කතා කියන්න රට ගැන ජනතාව ගැන වගවීමක් ඇති දේශපාලකයකුට කළ නොහැක. පසුගිය මහ මැතිවරණ සමයේ දී මහින්ද රාජපක්ෂත් මෙවැනිම ගොන් කතාවක් කර තිබිණි. ඒ එවකට යහපාලන රජය විසින් විදේශ රාජ්‍යයයන් සමඟ එළඹෙන ආයෝජන ගිවිසුම් අහෝසිකර ආරම්භ කර තාබෙන ආයෝජනයන් පවා ආපසු හරවන බවටය. විශේෂයෙන්ම හම්බන්තොට වරාය චීනයට බදු දීමේ ගිවිසුම අහෝසි කරන බව දිගින් දිගටම කියා තිබිණි. ඒ කිව්වා සේ මුලින්ම කළේ ඒ වෙන විටත් තිබු මුල්‍ය අරමුදල සමඟ යහපාලනය ඇතිකරගෙන තිබූ එකඟතාව කඩා දැමීමය. ජාත්‍යන්තර ආයෝජන ගිවිසුම් කිහිපයක් අහෝසි කිරමට කටයුතු කළේය. අමරිකාවේ එම්සීසී ගිවිසුම, ජපානයේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, ඉන්දියා සහ ජපාන නැගෙනහිර වරාය ගිවිසුම, ජාත්‍යන්තර නිදහස් වෙලඳ ගිවිසුම් කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමත් අත්හිටුවනු ලැබීය. නමුත් හම්බන්තොට වරාය ගිවිසුමට අත තියන්න ගියේ නැත. කොහොම නමුත් එම පියවරයන් නිසා රටට වූ අලාබයක් මිස යහපතක් වූයෙ නැත. එසේම එම ගිවිසුම් අහෝසි කිරීම නිසා නිකරුනේ වන්දි ගෙවන්නත් සිදු විය. එසේම ජාත්‍යන්තර ප්‍රජාව රට සමඟ උරණ විය. අවසානයේ රට ගැන අවිශ්වාසයක් අපකීර්තියක් ගොඩ නැගුනු අතර ජාත්‍යන්තර වශයෙන් රටට සහයක් ලබාගැනීමට තිබු අවස්ථාද එමඟින් මඟ හැරී ගොඨා පාලනයට එහි වන්දිය ගෙවන්න සිදුවිය. දැන් සජිත් ප්‍රේමදාස සූදානම් වන්නෙත් එයටමය. නමුත් මුල්‍ය අරමුදල සමඟ වන එකඟතාවය කඩ දමනවාය කියන කාරණය අන් සියල්ලට වඩා බරපතල කරුණකි.

මේ වන විට ඇතිකරගෙන තිබෙන එකඟතාවයට පැමිණෙන්නත් රනිල් වික්‍රමසිංහ පාලනයට දැඩි වෙහෙසක් ගන්නට සිදුව තිබිණි. අයාලේ රැගෙන ගිය අර්ථිකය යළි නිවැරදි මාවතට ගැනීම සහ තවදුරටත් නිවැරදිම ලෙස ආර්ථිකය කළමනාකරණය කරගනිමින් ඉදිරියට යන බවට විශ්වාසය තහවුරු කරන්න දුෂ්කර මෙහෙයුමක් කිරීමට සිදුවිය. එසේම මුල්‍ය අරමුදලේ සහය ලබාගැනීම වෙනුවෙන් මෙරට ණය හිමි රාජ්‍යයන් සමග සහ මුල්‍ය ආයතන සමඟ පවතින ණය ගෙවීම සදහා සහන කාලයක් ඉල්ලා ගැනීමද අතිශය වැදගත් විය. එනම් මේවන විට ආර්තිකය හමුවේ ඇති පීඩනය අනාගතයට තල්ලු කර දමා, මේ මොහොතේදී රටේ ආර්ථිකය යම් සැහැල්ලුවකින් යුතුව යළි ගොඩනැගීම විය යුතු බැවිනි. මුල්‍ය අරමුදලේ ණය පැකේජය ලැබීමෙන් පසුව මුල සිටම රටේ සංවර්ධන ගමන ආරම්බ කිරීමට ඒ අනුව හැකියාව ලැබේ. අරමුදලෙ ණය ලැබීමෙන් පමණක් රටේ ආර්ථිකය ගොඩගැනීමට සමත් නොවූවත් එම ණය ලැබීම නිසා මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණයන් නිවැරදිව සිදුකර ඉදිරියට ගමන් කරන බවට දෙන සහතිකයක් ලැබේ. එමඟින් වෙනත් රාජ්‍යයන් සහ මුල්‍ය ආයතනවලින් නැවත ණය ආධාරයන් ලබා ගෙන රට ගොඩනැංවීමේ හැකියාවක් ලැබෙයි. එසේම විදේශ ආයෝජකයන් යළි රටට ගෙන්වා ගැනීමේ හැකියාව ලැබෙයි. ඒ අනුව රට යම් සංවර්ධනාත්මක තලයකට පැමිණීමට වසර කිහිපයක් ගත් වූවත් ඉන් පසුව මග හැර තිබූ ණය ගෙවීමේ හැකියව ලබා ගත හැකිය. එසේම රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම, රාජ්‍ය වියදම් අවම කරගැනීම වෙනුවෙන් මුල්‍ය අරමුදල පෙන්වා දුන් ප්‍රතිසංකරණයන් ක්‍රියාත්මක කිරීම මගින් රටේ ආර්ථික ස්ථාවරත්වය කඩිනමින් කරගෙන අද ජනතාව විඳින් පීඩාවන් අවම කර ගැනීම සිදුවෙනු ඇත. මේ ප්‍රතිසංස්කරණයන් රටට අනිවාර්යයක් වී ඇත. නමුත් මේ මොහොතේ දරන්නට බැරි තරම් අසීරු වූවත් ජනතාවට තවදුරටත් පීඩාවකට ගොදුරු වීමට සිදු වූවත් මේ හැර අර්බුදයෙන් ගොඩ ඒමේ මඟක් නැත. මේ ක්‍රියාත්මක කෙරෙන්නේ කඩිනමින් කෙටිකාලයක් තුළ ඉටුකළ යුතු ප්‍රතිසංස්කරණ කිහිපයක් පමණි. එම පියවර සාර්ථකව තබා මිළඟ පියවර තබන විට අද තිබෙන පීඩාකාරිත්වයෙන් ගැලවීම පහසු වෙනු ඇත. මේවන විටත් රටේ උද්ධමනනය සැලකිය යුතු ප්‍රමාණයකින් පහත බැස ඇත. පොලී අනුපාතයන්ද තරමකින් පහළ යමින් තිබේ. මේ වසර මැද වන විට එහි විශාල ප්‍රගතියක් දැකිය හැකි වෙනු ඇති බව ආර්ථික විශේෂඥයන්ගේද මතය වී ඇත. නමුත් කැඳවා තිබෙන විකාර මැතිවරණය නිසා යම් ප්‍රමාදන් විය හැකි බවත් මේ පිරිස පෙන්වා දෙයි.

කොහොම නමුත් මැතිවරණයේ බල ලෝබී වියරුව නිසා යළි රට තුළ දේශපාලන ස්ථාවරත්වය පවත්වාගෙන යෑමට නොහැකි වුවහොත් මේ සියල්ල අහෝසි වී යළි ඉතා දුෂ්කර අඩියකට රට පත්වීම වැලැක්විය හැකි නොවේ. මේ නිසා සජිත් ප්‍රේමදාස මුල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම කඩා දමන බව කියන විට මැවෙන්නේ බයංකර සිහිනයකි. එසේම දැනට පවතින එකඟතාවලටද එය බලපෑමක් වෙනු ඇත. යම් ලෙසකින් රටේ කරුමෙට හෝ ආණ්ඩු බලයක් පිහිටුවා ගැනීමට සජබයට හැකි වුවහොත් විය හැකි විනාශයේ තරම ගෝඨභය රට ඇද දැමු තත්වයට වඩා බරපතල වෙනු ඇත. සජිත්ගේ අනෙක් කතන්දර ගැන තව දුරටත් කිවයුතු නැත. අඩුම තරමින් ජාජබයේ අනුර, රනිල්ගේ විසඳුම වචනයෙන් හරි පිළිගනිමින් සිටීම තරමක අස්වැසිල්ලකි. ඒ කොහොම වෙතත් අනුරගේ විසඳුම සජිත්ගෙ විසඳුම් කියා දෙකක් නැත. දෙගොල්ලොම කරන්නේ ජනතාව හමුවේ අමුතු සිහින ගොඩනගමින් ඔවුන් රවටා බලය ඩැහැගැනීමේ දේශපාලන කුමන්ත්‍රණයකි. මැතිවරණයක් යනු ජනතාවට නිදහසේ තමන්ගේ කැමැත්ත ප්‍රකාරව ඡන්දය පාවිච්චිකිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයක් වූවත් මේ අයගේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී නැත. රට අර්බුදයට යවා ජනතාව පීඩාවට පත්කර ඒ හරහා අනිසි බලපෑමක් කිරීම තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය නොහැක.

මේ අතර රටේ නීතියෙන් පිට නැතිනම් ව්‍යවස්ථාවෙන් පිටත රාජ්‍ය බලයක් ගොඩනගනවා කියමින් අරගලය ප්‍රචණ්ඩ භාවිතයක් දක්වා තල්ලු කළ පෙරටුගාමි සමාජවාදී පක්ෂය සහ එහි අතකොලුවක් වන අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය ඒ ප්‍රචණ්ඩත්වය අත් හැර නැත. තමන්ද මැතිවරණයට මුහුණ දෙනවා කියමින් ප්‍රසිද්ධ දේශපාලනයේ නියැලෙන බව ඒත්තු ගැන්වූවද එකදු මන්ත්‍රී ආසනයක් හෝ දිනාගැනීමේ හැකියාවක් ඔවුන්ට නැති බව පැහැදිලිය. ගමක් නියෝජනය කරන්න තරම් වත් පාක්ෂිකයකු නැති මේ ත්‍රාඩ දේශපාලන කල්ලිය දිගටම උත්සහ කළේ ජනතාව මත ඇති පීඩනය තමන්ගේ වාසිය වෙනුවෙන් යොදවාගෙන බලය අත්පත් කරගැනීමේ සාහසික කුමන්ත්‍රණයකි. එය පරාජය වූ නමුත් නැවත අන්තරය ඉදිරියට දමා මේ සාහ්සික දේශපාලන කුමන්ත්‍රණය යළි ක්‍රියාත්මක කිරීමට අර අදිමින් තිබේ.

පසුගිදා කැලණි විශ්වවිද්‍යාල සිසුන් පොළඹවා ගෙන ඒ සඳහා පෙරහුරුවක් කරන ලදි. එමෙනම් මේ ලියන මොහොත වන විට දැනගැනීමට තිබෙන්නේ පෙබරවාරි 04 වන දින කොළඹට තමන්ගේ සියලු අකකොළු කැඳවා ජාතික නිදහස් උළෙල කඩාකප්පල් කිරීමේ වෑයමක ඔවුන් නිරත වන බවය. බොහෝ විටම නීති විරෝධී ක්‍රියාවන් හරහා පොලිසිය සමඟ ගැටුමක් ඇතිකර ගනිමින්, ලේ සෙලවීමක් නැතිනම් මරණයක් දක්වා ප්‍රචණ්ඩ හැසිරීමකින් රජයට එරෙහිව විශාල විරෝධයක් ගොඩනගාගැනීම ඔවුන්ගේ උත්සාහය විය හැකිය. ඒ එසේ වුවහොත් එය ආණ්ඩුවට එරෙහි විරෝධයක් පමණක් නොවනු ඇත. ජාත්‍යන්තරයෙනුත් එල්ල වන අනවශ්‍ය පීඩනයකුත් රටට ගෙන එනු ඇත. රට තුල ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි විරෝධාතා දැක්වීමේ නිදහස නැතයි කියමින් නිදහස් දිනය දාම විශාල ජාත්‍යන්තර විරෝධයක් ඇතිවන තැනට කටයුතු කළ හැකිය. ඊටම මෙරට වෘත්තීය සමිති මාෆියාවත්, රාජ්‍ය නොවන සංවිධාන සහ ජාත්‍යන්තර බලවේග වල ඉත්තන් ලෙස කටයුතු කරන ආගමික සහ වාර්ගික සංවිධානත් උලපන්දම් දෙනු ඇත. මේ වන විටත් ක්‍තෝලික සභාව නිදහස සැමරීමට එරෙහිව ප්‍රකාශ නිකුත් කර ඇත. කතෝලික සභවට ඇතැම් විට ඊට fඔතිහාසික අයිතියක් තිබිය හැකිය. මන්ද රට නිදහස් කරගත්තේ බයිබලයයි කඩුවයි අතින් අරන් පැමිණි අධිරාජ්යවාදීන්ගෙන් නිසාය. ඒ කොහොම වුණත් මේවන විට රජයේ වැඩපිළිවෙට එරෙහිව වෙන් වෙන් වශයෙන් විසකුරු බලවේග ගනනාවක් ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙය රනිල්ට එරෙහි හෝ ආණුඩුවට එරෙහි හෝ බව මතු පිටින් පෙනෙන්නට තිබුණත් සැබැවිනම් මේ සියල්ල අවසාන්යේදී රටට හා ජනතාවට එරෙහි පැහැදිලි කුමන්ත්‍රණ වේ.

එලෙස නිශ්චිතව කියන්නේ මේ කිසිවකුත් රට මුහුණ දෙන ජනතාව මුහුණ දෙන ගැටලුවට විසඳුම් ඉදිරිපත් නොකර, අද ක්‍රියාත්මක විසඳුම් පවා කඩාකප්පල් කරමින් රට ගිනි තියමින් සිටින නිසාය.

කොහොම නමුත් අද රටේ කලබලකාරිත්වය තුළ ඇත්තේ මේ දුෂ්ඨ බලවේග වල ක්‍රියාකාරිත්වය හමුවේ රට අර්බුදයෙන් ගලවාගැනීමට ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ගන්නා වෙහෙසකර ක්‍රියාන්විතය වැසී ඇත. නැතිනම් ඒ නොපෙන්වීමට මේ බලවේග සමත්ව ඇත. මේ අනුව විපක්ෂයේ බල ලෝභිත්වය හමුවේ රට නැවත විශාල අන්තුරක් පාමුලට ගෙනවිත් තිබෙන බව අවධාරණ කළ යුතුය.

-ඝෝෂක

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *