කොළඹ කෝටි ගණනක මුදල් සොරකමක්

ජංගම දුරකථන වෙළෙඳසැලක තිබූ කෝටි ගණනක මුදලක් සොරකම් කරන ලද පුද්ගලයෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු මීට දින තුනකට පෙර අදාළ වෙළෙඳසැලේ සේවයට පැමිණ ඇති බවය.

එහිදී සැකකරු විසින් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 5කට ආසන්න මුදලක් සහ අමෙරිකන් ඩොලර්, ඉන්දියන් රුපියල් ,සිංගප්පූරු ඩොලර්, මැලේසියන් රීන්ගිට් ,යුරෝ මුදල් තොගයක් සැකකරු විසින් සොරකම් කර තිබේ.

මීට දින තුනකට පෙර අදාළ දුරකථන වෙළෙඳසැල වෙත පැමිණ ඇති සැකකරු තම ජංගම දුරකථනය ආරෝපණය කරගැනීමට අවශ්‍ය බව පවසා ඇත.

එම අවස්ථාවේදී සැකකරු එහි සිටි ව්‍යාපාරික කාන්තාවට වැඳ වැටී පවසා ඇත්තේ තමන් අනාථ නිවාසයක හැදී වැඩුණු අයෙකු බවය.

තමන්ට මව්පියන්, සොහොයුරු සොහොයුරියන් නොමැති බවත් පවසා ඇති සැකකරු කුමන ආකාරයක හෝ රැකියාවක් ලබාදෙන ලෙසට අයැද තිබේ.

එහිදී සැකකරු පිළිබඳව ඇතිවූ අනුකම්පාව මත ව්‍යාපාරික කාන්තාව එම වෙළෙඳසැලේ රැකියාවක් සඳහා සැකකරු බඳවාගෙන ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.

පසුව එම අවස්ථාවේ වෙළෙඳසැලෙන් පිටව ගොස් ඇති සැකකරු සිය ඇඳුම් පැළඳුම් රැගෙන එදිනම නැවත රැකියාව සඳහා පැමිණ ඇත.

අනතුරුව ව්‍යාපාරික කාන්තාව විසින් එම සැකකරු වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත කැඳවාගෙන ගොස් එහි කාමරයක නවාතැන් ලබාදීමට ද කටයුතු කර තිබේ.

ඉන් අනතුරුව සැකකරු ඉතාමත් කාර්යක්ෂම ලෙස වැඩකටයුතු කරමින් දින තුන තුළදී ව්‍යාපාරික කාන්තාවගේ සිත දිනාගැනීමට සමත්ව ඇත.

සිද්ධිය වූ ඊයේ දිනයේ ව්‍යාපාරික කාන්තාව විසින් සැකකරු සමඟ තම බාල දියණිය වෙළෙඳසැල වෙත එවා අවශ්‍යතාවයක් සඳහා පිටකොටුවට ගොස් තිබේ.

ඒ අනුව ඊයේ (27) උදෑසන 9ට පමණ සැකකරු සහ අදාළ දියණිය වෙළෙඳසැල වෙත පැමිණ එය විවෘත කර ඇත.

වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ අනතුරුව අදාළ දියණිය ආහාර ගැනීම සඳහා වෙළෙඳසැලෙන් පිටව ගොස් ඇති බවය.

ව්‍යාපාරික කාන්තාව පොලීසිය වෙත පවසා ඇත්තේ එම අවස්ථාවේදී තමන් සිය දියණිය වෙත ඇමතුමක් ලබාගත්තද එයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් සැකකරුගේ අංකයට ඇමතුමක් ලබාගත් බවය.

එයටද ප්‍රතිචාරයක් නොලැබුණු තැන තමන් යාබද වෙළෙඳසැල වෙත අමාතුමක් ගෙන තම දියණියට ලබාදෙන ලෙස පවසා තිබේ.

පසුව එම වෙළෙඳසැලේ හිමිකරු අදාළ ව්‍යාපාරික කාන්තාවගේ වෙළෙඳසැල වෙත ගොස් සොයාබලා එහි කිසිවෙකු නොමැති බව දුරකථනයෙන් ව්‍යාපාරික කාන්තාව වෙත පවසා ඇත.

අනතුරුව කඩිනමින් අදාළ ව්‍යාපාරික කාන්තාව වෙළෙඳසැල වෙත පැමිණ තිබේ.

ඇය වෙළෙඳසැලට පැමිණෙන අවස්ථාවේදී එහි සිය දියණිය පමණක් සිට ඇති අතර සිදුකළ සොයාබැලීමේදී වෙළෙඳසැලේ කාමරයක පෙට්ටියක් තුළ සඟවා තිබූ මුදල් සියල්ල අතුරුදන්ව ඇති බව දැක පොලීසියට පැමිණිලි කර ඇත.

ව්‍යාපාරික කාන්තාව පවසා ඇත්තේ එහි තිබූ සියලුම මුදල් වර්ගවල එකතුව රුපියල් කෝටි එකහමාරකට ආසන්න බවය.

ඒ අනුව බම්බලපිටිය පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

You May Also Like

About the Author: editor02

Leave a Reply

Your email address will not be published. Required fields are marked *