ඩී.එස්.අයි ලොක්කන්ව යලි අධිකරණයට

DSI සැම්සන් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ, එහි අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ, නෙලානි රාජපක්ෂ යන අය හා සමාගම් ලේකම්වරිය වන වරුණි ද සිල්වාට එරෙහිව නඩුව ලබන නොවැම්බර් 20 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ වානිජ  මහාධිකරණය පසුගිය 09 වැනිදා නියෝග කළේය.

මේ නඩුව එම සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සජිත් රාජපක්ෂව අධ්‍යක්ෂ මණ්ඩලයේ දැරූ ධූරවලින් ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවට පටහැනිව අධිකරණයට අපහාසයක් වන අයුරින් කටයුතු කිරීම ගැන DSI සැම්සන් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ, එහි අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ, නෙලානි රාජපක්ෂ යන අය හා සමාගම් ලේකම්වරිය වන වරුණි ද සිල්වාට එරෙහිව ගොනුකර තිබේ.

අදාළ අධ්‍යක්ෂවරු විසින් සජිත් රාජපක්ෂ DSI සැම්සන් සමූහයේ සමාගම් 3ක කළමනාකාර අධ්‍යක්ෂ ධූරයෙන්ද, සෙසු සමාගම් 5ක අධ්‍යක්ෂ ධූරයෙන්ද ඉවත් කර ඇති අතර ඔහු අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව අදාළ ධූරවල ඔහුව නැවත ස්ථාපනය කිරීමට ද අධිකරණය නියෝගකර තිබිණි.

සමාගම් ලේකම්වරිය වන අරුණි ද සිල්වා විසින් සෙසු අධ්‍යක්ෂවරුන්ගේ අනුදැනුම ඇතිව සජිත් විසින් කළමනාකාර අධ්‍යක්ෂ ධූර හා අධ්‍යක්ෂ ධූර දරණ ආයතනවල පැවැත්මට නෛතික බාධාවක් වන අයුරින් හා සජිත්ට බාධාවන ආකාරයට කටයුතු කරමින් හිතා මතා රාජකාරි පැහැර හැර ඇති බවද මේ නඩුව ගොනුකරමින් අධිකරණයට කරුණු දක්වා තිබේ. 

වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සජිත් රාජපක්ෂට එරෙහිව එල්ලවූ චෝදනාවක් මත ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඒ අතරතුර කාලයේදී ඔහුව අදාළ අධ්‍යක්ෂ මණ්ඩලයේ දැරූ ධූරවලින් ඉවත් කිරීමට එම අධ්‍යක්ෂවරු කුමන්ත්‍රණය කරමින් කටයුතු කර ඇති බවද මේවනවිට අධිකරණයට වාර්තා කර තිබේ.

මෙරට තිබෙන විශාලතම පුද්ගලික සමාගම්වලින් එකක් වන DSI සැම්සන් සමාගමේ අධ්‍යක්ෂවරු අතර ගැටුම් මතුවූයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයකු විසින් අදාළ  සමාගමේ කොටස් සහ ලාභාංශ  පවුලේ සාමාජිකයන් අතර සාධාරණව බෙදා වෙන්කරගැනීමට ඉදිරිපත් කරණ ලද යෝජනාවක් සමඟය.

හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා එම යෝජනාව DSI සැම්සන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ පසුගිය (2023) අප්‍රේල් මුල් සතියේදීය.

මෙරට තිබෙන විශාලතම පුද්ගලික සමාගම්වලින් එකක් වන මේ ව්‍යාපාරය සතුව සමාගම් 30ක් පමණ වන අතර ඉන් ලාභ ලබන ප්‍රධානම සමාගම් කිහිපය මෙහෙයවනු ලබන්නේ අදාළ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ පුත්‍රයන් විසින්ය.

හදිස්සියේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරවලින් ඉවත් කෙරුණු සජිත එම කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ එක් පුත්‍රයකු වන අතර අදාළ සමාගම් ජාලයේ වැඩිම විදෙස් විනිමය ගෙන එන සමාගම වන සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම මෙහයවනු ලබන්නේ සජිත් රාජපක්ෂ විසිනි.

ඒ අතරින් අපනයන වෙළෙඳපොළ සඳහා DSI ටයර් නිෂ්පාදනය සිදුකරනු ලබන ප්‍රධාන සමාගමක් වන්නේ සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් පෞද්ගලික සමාගම වන අතර එය ලොව අතිනවීන තාක්ෂණය යොදාගන්නා ඉහළ  එකතුකල අගයක් ඇති  සුවිශේෂී වූ නිෂ්පාදන  සිදුකරන  අති නවීන කර්මාන්ත ශාලාවකි.

සජිත් රාජපක්ෂ මෙහෙයවනු ලබන සමාගම් DSI සමූහ ව්‍යාපාරයේ සමාගම්වලින් අඩුම ණය බරක් සහිත, ඉහළම ආයතනික බදු ගෙවන සමාගම් ලෙස සැලැකෙන අතරම එම ආයතන ජාලයේ රැකියා අවස්ථා දහස් ගණනක් ලබා දෙන මූලික සමාගමක් ද වේ. 

වසර 2019-2022 පාස්කු ප්‍රහාරය හා කොරෝනා තත්ත්වයන් පැවැති කාලයේදී පවා මෙරට ඉහලම ආදායම් ලැබූ ආයතන ලෙස සැලැකෙන ආයතන අතර ද සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් හා සැම්සන් රබර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම් අතර මුල් පෙළ වූ සමාගම් දෙකකි. 

DSI සැම්සන් හි සෙසු අධ්‍යක්ෂවරුන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති අධිකරණයට අපහාසවන අයුරින් කටයුතු කිරීම සිරඳඩුවම් ලැබිය හැකි වරදකි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *