නතාෂා පෙරේරා කියන්නේ ජනප්‍රිය ගායන ශිල්පිනියක්, නිවේදිකාවක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්.
පහුගිය කාලේ නම් නතාෂා අලුත් නිර්මාණවලින් දකින්න ලැබුණේ නැහැ. ඒ නතාෂා-ප්‍රිහාන් සමග විවාහයෙන් පස්සේ විදෙස්ගතව සිටි නිසා. කොහොම වෙතත් නතාෂා-ප්‍රිහාන් දැන් ඉන්නේ ලංකාවේ. ඒ නිසා අලුත් නිර්මාණ තුළින් අපිට දකින්න ලැබෙයි. ඒ ගැන එක්කම මේ දවස්වල මොකද වෙන්නේ කියලා දැන ගන්න අපි නතාෂාව කතාබහකට සම්බන්ධ කර ගත්තා.
කොහොමද නතාෂා ජීවිතේ?
ජීවිතේ හොඳයි, හොඳින් ඉන්නවා. දැන් නැවතත් ලංකාවෙ ඉන්නෙ. අවුරුදු දෙකකට විතර පස්සෙ ආවේ. ඉතින් ඒ නිසා අලුත් සිංදුවක් කළා. ‘තාම ආදරෙයි’ ඒක ලිව්වේ සාදර බණ්ඩාර. සංගීතය චරිත එදිරිසිංහ. මේ සින්දුව වීඩියෝ එකක් එක්කම එළිදක්වන්න තමයි ඉන්නේ. තව මම හින්දි සින්දුවකට කවර් එකක් කරන්න ඉන්නවා. ඒකත් ළඟදීම අහන්න ලැබෙයි.
ප්‍රිහාන් එක්ක අලුත් සින්දුවක් කරන්නෙ නැත්තේ ඇයි?
අපි දෙන්නා වෙන් වෙන් වශයෙන් මේ ක්ෂේත්රයට ඇවිත් මේ ගමන පටන් ගත්ත නිසා හිතුවේ තනි තනි නිර්මාණ කරන්න ඕනේ කියලා. ප්‍රිහාන් සහ මම ඉන්නේ ඒ අදහසේ. ඒ නිසා අනිත් අය කරන නිසා අපිත් ඒ දේ කරමු කියන තැන අපි දෙන්නම නැහැ.
නතාෂා- ප්‍රිහාන් දික්කසාද වෙලා කියලා සමාජ මාධ්‍යය තුළ තිබ්බා…
ඔව්, මමත් දැක්කා. ඔය කටකතා ඉතින් අද ඊයේ තිබ්බ දේවල් නෙවෙයි. ඒ නිසා ඒවා ගැන මම කලබල වෙන්නේ නැහැ. අනිත් අතට ඔහොම කතාවක් හැදෙන්න ඇත්තෙ මම හිතන විදියට ප්‍රිහාන් සහ මම එකටම නිතර ගමන් බිමන් යන්නෙ නැහැ, ෆොටෝ දාන්නෙ නැහැ. ඔය නිසා වෙන්න ඇති කියලයි මම හිතන්නේ.
දැන් නීතිඥ වෘත්තිය කරන්නෙ නැද්ද?
මම 2015 තමා දිවුරුම් දුන්නේ. ඊට පස්සේ ටික කාලයක් වැඩ කරලා තමයි ස්ථිර පදිංචියට ඔස්ට්‍රේලියාවට ගියේ. නමුත් මම කැමැති මම ඉගෙන ගත්ත දෙයින් සමාජයට සේවයක් කරන්න. ඒ නිසා ඉදිරියේදී ඒ දේවල් ආයේ පටන් ගන්නවා.
ඉදිරියේදී කලාවටද, නීතියටද වැඩි ඉඩක් දෙන්නේ?
කලාව මම පොඩි කාලේ ඉඳන් කළේ අර්ධ කාලීනව. ඉගෙනීමට නීතිය පැත්තට තමා වැඩි කාලයක් යෙදෙව්වේ. ඒ නිසා මේ දෙඅංශයම සමබරව කරන්න තමා උත්සාහ කරන්නේ.
ආයේ රඟපාන්න අදහසක් නැද්ද?
තියෙනවා. හැබැයි මම ලංකාවට ඇවිත් ඉන්නෙ කියලා ගොඩ දෙනෙක් දන්නේ නැහැ.
ප්‍රිහාන් කැමැතිද රඟපානවට?
ඔව්, එයා එහෙම නීති දාලා නැහැ. මොකද මම කලාවට ආවේ පොඩි කාලෙ ඉඳන්. එයත් මේ ක්ෂේත්රය තුළ ඉන්නේ. ප්‍රිහාන් කියන්නේ හැකියාවක් තියෙන නිසා නිර්මාණවලට දායක වෙන්න කියලා. ඉතින් හොඳ ආරාධනාවක් ආවොත් භාර ගන්නවා.
කොහොමද නතාෂා චරිත තෝරා ගන්නේ?
නිර්මාණයේ තියෙන ගුණාත්මක බව තමයි මම බලන්නේ. මොකද මේ වෙනකම් මම නිර්මාණ කරලා තියෙන්නේ දෙක තුනයි. හැබැයි ඒවාට සම්මාන පවා මට ලැබුණා. අනික් අතට නීතිය පැත්තෙන් කටයුතු කරන නිසා එයටත් හානියක් නොවන නිර්මාණ තමා භාර ගන්නේ.
සිනමාව, පුංචි තිරය කියන තේරීම කරනවද?
නැහැ, කොහෙත්ම නැහැ. මට මුලින්ම ආරාධනා ආවේ සිනමා නිර්මාණවලට. ලංකාවේ ඉන්න දැවැන්ත අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට. ඒත් අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දුන් නිසා ඒ දේවල් ඒ වෙලාවේ භාර ගන්න බැරි වුණා. මොනවා කරන්නද ඉතින් වෙලාව තමයි. ඒ නිසා සිනමාව පුංචි තිරය කියන තේරීමක් කරන්නෙ නැහැ. මම මූලිකත්වය දෙන්නේ නිර්මාණයේ ගුණාත්මක භාවයට.
කැමති චරිතයක් තියෙනවද?
එහෙම නැහැ. ලැබෙන ආරාධනා අනුව තෝරා ගන්නවා. මම කැමති නතාෂා විදියටම ඉන්න චරිතවලට වඩා බාහිර රූපය වෙනස් කර ගත්ත චරිතවලට. එකම චරිතවලට කොටු වෙන්න කැමති නැහැ. මම කැමති කවදා හරි චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න.
නතාෂා ලස්සන වෙන්න මොනවාද කරන්නේ?
ලස්සනට ඉන්න හිත පිරිසුදු වෙන්න ඕනේ. එතකොට ඒ දෙයින් මුහුණට ලස්සනට වඩා හොඳ ආකර්ෂණීය ප්‍රියමනාප බවක් එකතු වෙනවා. අනික තමයි තමන්ට ගැළපෙන ස්වභාවික දේවල්වලට නැඹුරු වුණොත් කාලයක් ගත වුණත් කල්පවතින ලස්සනක් හිමිකර ගන්න පුළුවන්.
නතාෂා ඉස්සර වැඩිපුරම කෑවේ යෝගට්නේ, තාමත් එහෙමද?
දැන් නම් කටේවත් තියන්නෙ නැහැ. ඒකට හේතුව ගොඩක් මහත් වුණා. ඒ නිසා යෝගට් කාපු කාලයක්වත් මතක නැහැ.
නතාෂාගේ සමකාලීන අය නම් දැන් දරු සුරතල් බලනවා. නතාෂා ඒ ගැන හිතුවෙ නැද්ද?
මම හිතනවා තව ටික කාලයක් මෙහෙම හිටියොත් හොඳයි කියලා.
නිවේදන කටයුතුවලට ආයේ ආරාධනාවක් ආවොත් භාර ගන්නවද?
ඔව්, අනිවාර්යයෙන්ම. නාළිකා කිහිපයක්ම ආරාධනා කළත් යම් යම් කාරණා නිසා මග හැරුණා. ඉදිරියේදී භාර ගන්න සූදානම්. මොකද මම ‘සුළඟක් වී’ සින්දුව කියලා ලබන අවුරුද්දට අවුරුදු 20යි.
මේ කාලය තුළ මම ගොඩක් නිර්මාණ කරලා නැහැ. හැබැයි කරපු නිර්මාණ අදටත් බොහෝ දෙනා අතර ජනප්‍රියයි.
ඒ කියන්නේ නතාෂා දිගටම ලංකාවෙ ඉන්නවද?
මේ තියෙන වාතාවරණය එක්ක නම් ලංකාවේ වැඩි කාලයක් ඉන්න තමා බලාපොරොත්තුව. නමුත් සැරින් සැරෙ ඔස්ට්‍රේලියාවටත් ගිහින් එන්න වෙනවා. මොකද ගෙවල්, වාහන තියෙන්නේ එහෙ නිසා.
කොහොමද විදෙස්ගතව හිටිය කාලය?
ඒක ඇත්තටම හරි වෙනස්. ගොඩක් දෙනා පිටරට ජීවිතයක් ගැන සිහින මවනවා, පිටරට ගියා නම් හොඳයි කියලා. ඇත්තටම හොඳයි. රටක් වශයෙන් හොඳ රටක්. ලෝකයේ දියුණු රටක්. අපි ආවේ ගිය අවුරුද්දේ අවසානයේ. මේ ඇතිවුණු කොරෝනා අවදානම නිසා ඉන්න වුණා.
ඒත් මම කැමති වැඩි කාලයක් ලංකාවේ ඉන්න. මට නම් එහෙ යාළුවෙක්වත් නැහැ. ප්‍රිහාන්ට නම් යාළුවෝ හිටියා. හැබැයි මම එහෙදි රැකියාවක් කළා. ඒ නිසා කාර්යබහුල ජීවන රටාවක් මට තිබ්බේ. ඒත් තමන්ගේකම නැහැ. මම ඉපදුණේ ලංකාවේ නොවුණත් මම ජීවත් වුණේ ලංකාවේ නිසා මොන තරම් දියුණු රටකට ගියත් ඒ අඩුව දැනෙනවා.
මට විතරක් නෙවෙයි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාට ඒ හැඟීම දැනෙනවා.
අනුෂා රණසිංහ
උපුටා ගැනීම – අරුණ