පක්ෂ 15ක් සමගින් එජාපයෙන් නව දේශපාලන සංධානයක්..!

රටේ සිදුවන ව්‍යසනයන්ට මුහුණ දෙමින් විසඳුම් ලබා දීම සඳහා ජාතික සැලැස්මක් යටතේ දිගුකාලීන විසඳුමක් ජනතාව වෙත ඉදිරිපත් කිරීමට පුළුල් දේශපාලන සන්ධානයක් පිහිටුවා ගැනීමේ සාකච්ඡා වටයක් එක්සත් ජාතික පක්ෂය දේශපාලන පක්ෂ රාශියක් සමග ආරම්භ කොට තිබේ.

මෙම සාකච්ඡා වටයේ එක් හමුවක් පසුගිය 13 වන දා සවස එජාප මූලස්ථානය වන සිරිකොතේදී පැවැත්විණි. එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජිර අබේවර්ධන, ලේකම් රංගේ බණ්ඩාර සහ සාගල රත්නායක මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ලියාපදිංචි දේශපාලන පක්ෂ හා සංවිධාන පහළොවක නායකයන් ඇතුළු ප්‍රධානීන් සහභාගි වී ඇත.

වර්තමානයේ රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට නායකත්වයක් එජාපය තුළ තිබෙන බව මෙම සාකච්ඡාවේ පක්ෂ නායකයන් හා නියෝජිතයන් අදහස් දක්වමින් ඒ සඳහා සුදුස්සා රනිල් වික්‍රමසිංහ බව බහුතරය ප්‍රකාශ කොට ඇතැයි වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ විකල්ප කණ්ඩායම, ශ්‍රී ලංකා පාරම්පරික කලාකරුවන්ගේ සම්මේලනය, ජාතික මිතුරෝ, ජාතික ජනතා ව්‍යාපාරය, නව සම සමාජ පක්ෂය, ජාතික කලා පෙරමුණ, එක්සත් වෙළෙඳ සංගමය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පක්ෂ 15ක නියෝජිතයන් සහභාගි වී ඇත. සහභාගි වූ පක්ෂ නායකයන් හා නියෝජිතයන් අතර ආචාර්ය සිරිමසිරි හපුආරච්චි, නීතිඥ සාමිලා පෙරේරා, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ආරියවංශ දිසානායක, රාජා උස්වැටකෙයියාව, සුන්දරම් මහේන්ද්‍රන්, පරාක්‍රම විජේසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූ අය අතර වූහ.

පැය තුනකට ආසන්න කාලයක් සාකච්ඡාව පැවති බව ද වාර්තා වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *