මැති ඇමතිලා ඇතුළු ධනවත් කෝටිපතියන් මුලාකර මුදල් ගසා කෑ කත අත් අඩංගුවට..!

විදේශ රටවල මුදල් නැත්පතු සහ නොයෙකුත් ව්‍යාපාරවල තැන්පතු කිරීම වෙනුවෙන් ලාභදායී මුදලක් ලබාදෙන බව කියමින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ පවත්වාගෙන ගිය ආයතනයක හිමිකාර කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (5දා) අත්අඩංගුවට ගත්තේය.

කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රබල දේශපාලනඥයන්, සුප්‍රසිද්ධ වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් සැකකාරියගේ ආයතනයට රුපියල් කෝටි ගණන් මුදල් ගෙවා ඇති අතර එම මුදලට ලාභදායි පොලී මුදලක් නොගෙවීම මත කෝටිපතියන් 10 දෙනකු මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි.

මේ පුද්ගලයන් අතර එක්තරා සුප්‍රසිද්ධ සුපිරි දේශපාලනඥයකුද සිටින බවත් මැය අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුද ඇයට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

කොළඹ සහ ඒ අවට සුපිරි මහල් නිවාස සංකීර්ණ (එපාර්ට්මන්ට්) ලබාදෙන බව කියමින්ද ඇය මුදල් වංචා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙක් කීය.

සැකකාරිය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහල කුලී පදනම මත ලබාගෙන මෙම ව්‍යාපාරයේ යෙදෙන අතර ඒ සඳහා මසකට රුපියල් ලක්ෂ 16ක් ගෙවන බවද හෙතෙම සඳහන් කළේය.

සැකකාරිය අවි සහිත ආරක්ෂක භටයන් සමඟ ගමන් කරන බවත් ඒ සඳහා ඇයට ආරක්ෂාව ලබාදී ඇත්තේ සුප්‍රසිද්ධ ආරක්ෂක ආයතනයක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීය.

ඇය මෙම නීති විරෝධී ක්‍රියාවල යෙදීමෙන් රුපියල් කෝටි ගණනින් මුදල් උපයන අතර ඒ සඳහා ඒජන්සි 5ක් ලියාපදිංචි කර ඇති බවද රහස් පොලිසිය කීය.

එක්තරා සුප්‍රසිද්ධ වෛද්‍යවරයකු ලාභයක් ලබාගැනීම සඳහා කෝටි 40ක් ලබාදී ඇතත් එම මුදල ඇය වංචා සහගත ලෙස ලබාගත් බව කියමින් ඔහු පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

ඇයට හසු වූ සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නළුවකු ගැනද තොරතුරු හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

විදේශ ව්‍යාපාරවල තැන්පතු, මැණික් සහ ස්වර්ණාභරණ සඳහා තැන්පතු, විදේශ මුදල් ආයෝජන වැනි දේ කියමින් දිවයිනේ සුප්‍රසිද්ධ කෝටිපතියන් ඇසුරු කළ ඇය ඔවුන් සමඟ කාලය ගත කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතී.

බෙන්ස්, ප්‍රාඩෝ, බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ සුපිරි වාහන සතු ඇය ආරක්ෂා කිරීම සඳහා වෙනමම ආරක්ෂක කණ්ඩායමක් ඇය සතුව ඇති බවත් එම ආරක්ෂක කණ්ඩායමේ ප්‍රකාශ සටහන් කර ගැනීමට මේ වන විටත් කටයුතු යොදා ඇතැයිද එම දෙපාර්තමේන්තුව කියයි.

මෙම කෝටිපති ව්‍යාපාරිකයන් ‘බ්ලැක් මේල්’ කරමින්ද මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සත්‍ය කරුණු හෙළි කර ගැනීමට ඊයේම විමර්ශනයක් ආරම්භ කළ බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.

සැකකාරිය කෝටිපතියන් පමණක් ඇසුරු කර ඇති බවත් ඇයට හසුවුණු ශ්‍රී ලාංකික ජනප්‍රිය කෝටිපතියන් රැසක් ගැන මේ වන විටත් තොරතුරු හෙළි වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත එහි අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ මෙහෙයවීම මත විමර්ශන සිදු කෙරේ.

[කීර්ති මෙන්ඩිස් – මව්බිම]

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *