හිඟ බදු නොගෙවන අරක්කු සමාගම්වල බලපත්‍ර තහනම්..!

ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හමුවූ නිෂ්පාදන සමාගම්වල හිඟ බදු මුදල් ඔක්තෝබර් 30 වැනිදා  වනවිට  ගෙවා අවසන් නොකළහොත් එම සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට තීරණය කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය විමසීම සඳහා එහි  ප්‍රධානීන් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

තමා සියලු සමාගම්වල ප්‍රධානීන් කැඳවා  කරුණු විමසූ  අවස්ථාවේදී අරක්කු බෝතල් මත ව්‍යාජ ස්ටිකර් අලවා තිබූ බව පිළිගත් නමුත් ඒවා  ඇලවූ බව පිළිනොගත්තේ යැයි පැවසූ කොමසාරිස් ජනරාල්වරයා තමා ඔවුන්ගේ එම ප්‍රකාශ  පිළි නොගන්නා බවද සඳහන් කළේය.

ස්ටිකර් මුද්‍රණය කරපු ස්ථානයක් සොයා ගත නොහැකි බවත් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් ජයසිංහ මහතා කීවේය.

හිඟ බදු අයකර ගැනීම සඳහා ඊට අදාළ නීතිය ක්‍රියාත්මක කරන්නැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

මේ අතර ව්‍යාජ ස්ටිකර් සහිත බෝතල් විකුණුම් ස්ථාන 52 කින් සොයාගත් බව සුරාබදු කොමසාරිස්( අපරාධ ) චන්ද්‍රසිරි සිල්වා මහතා පැවසීය

ව්‍යාජ ස්ටිකර් සහිත කාලේ බෝතල් 59,000ක් සොයාගත්  බවද   ඔහු සඳහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *