ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළකට පූර්ණ සහාය ලබා දෙනවා..! චීන මුදල් අමාත්‍යවරයා සහතික වෙයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට චීනය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව චීන මුදල් අමාත්‍ය ලියු කුං (Liu Kun) මහතා පැවසීය.

චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන මුදල් අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (19) පෙරවරුවේ බීජිං නුවරදී සිදුවූ අතර එහිදී චීන මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝගය පිළිබඳ මනා අවබෝධයක් චීනයට තිබෙන බව මෙහිදී පැවසූ චීන මුදල් අමාත්‍යවරයා එම අර්බුදයෙන් ගොඩඒම උදෙසා ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ද ඇඟයීමට ලක් කළේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඉදිරියටත් චීනයේ පූර්ණ සහාය ලබාදෙන බවට ද මෙහිදී චීන මුදල් අමාත්‍යවරයා සහතික විය.

එසේම ශ්‍රී ලංකාව සහ චීනය අතර මූල්‍ය හුවමාරු කාර්යයන් සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනීම සිදු වූ අතර චීනය සමඟ සමීපව කටයුතු කරන වෙනත් ජාත්‍යන්තර ආයතන වෙතින් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවද චීන මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආර්ථික අර්බුදයෙන් යළි නැඟිසිටීමේ අභියෝගාත්මක කාර්යයේදී චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහාය ඉතා අගය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

රටේ ආර්ථික ප්‍රකෘතිය ඇති කර ගැනීම සහ තරගකාරී ඩිජිටල් හා හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිළි කෙරිණි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති පුද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *