වෘත්තිය ගරුත්වය ආරක්ෂා වන වැඩ පරිසරයක් තුල වෘත්තිකයන් ආරක්ෂා කිරිමට වැඩපිළිවෙලක්..! ඇමති මනූෂගෙන් ප්‍රකාශයක්..!

කාගෙන්වත් බැනුම් අහන්නේ නැතිව ගරුත්වයක් ඇතිව රැකියාව කිරීමට ඕනෑම අයෙක් කැමති බවත් එසේ බැනුම් නොඅසා අභිමානයෙන් යුතුව තමාගේ රැකියාව කිරීමට වැඩපිළිවෙලක් නිර්මාණය කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

ඒ සම්බන්ධව වෘත්තීය ආයතන බිහිකරමින්, ලබන පෙබරවාරි මාසය වන විට ඒවා ගැසට් කිරීමට කටයුතු කරන බවද අමාතවරයා පැවසයී.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මෙරට අවදිමත් අංශයේ රැකියා වල නිරතවන සියලුදෙනා හට ගෞරවනීය බවක් සහ සුරක්ෂිත බවක් ලබාදීමට දියත්කර ඇති “ගරු සරු” වැඩසටහන යටතේ බස්රථ රියැදුරන් සමඟ ඔවුන්ගේ වෘත්තීය මට්ටම ඉහළ දැමීම හා වෘත්තීය සුරක්ෂිත බව ආරක්ෂා කිරීම පිළිබඳව පැවති සාකච්ඡාව අතරතුරදීය.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

මේ රටේ හැම වෘත්තියකටම ගෞරවයක් ඇති කළයුතුයි. මේ රටේ නිසි සේව්‍ය සේවක ගිවිසුමක් ඇතිව කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ් කැපෙන රැකියාවල නිතර වෙන්නේ ලක්ෂ විසි පහක පමණ පිරිසක්
ඒත් අපේ රටේ ශ්‍රම බලකායෙන් බහුතරයක් දෙනා නියෝජනය කරන්නේ මේ අංශය නෙමෙයි. ඒ අනුව අපේ රටේ ලක්ෂ හැටක පමණ පිරිසක් නිරත වෙලා ඉන්නේ අසංවිධිත අංශයේ රැකියා වලයි. මේ පිරිස රට වෙනුවෙන් විශාල කාර්යක් කරනවා. ඒ පිරිසට ඔබත් අයත් වෙනවා. ඒත් ඔබගේ වෘත්තියේ ගරුත්වය සම්බන්ධයෙන්, ඔබේ වෘත්තියේ ආරක්ෂාව සම්බන්ධයෙන්, රැකියාවේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ගැටලුවක් ආවොත් ඒ ගැන පැමිණිලි කරන්න තැනක් නැහැ.

ඒ වගේම ඔබට රියැදුරු වෘත්තිය, රිය සහයක වෘත්තිය කරන්න බැරි වුන දවසකට ඔබව බලාගන්න ක්‍රමවේදයක් දැනට මෙරට තුල නැහැ.
ඒ නිසා මේ වගේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන, ඒත් නිසි වෘත්තීය ආරක්ෂාවක් නැති පිරිස ගෞරවාන්විත වෘත්තිකයන් බවට පත් කරන්නයි ගරු සරු වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.

අපි කියනවා පිට රටක නම් බස් එකේ රියැදුරු මහතා ටයි එකක් දාගෙන නැතැත්නම් යුනිෆෝම් එකක් ඇඳගෙන වැඩ කරනවා, වෙලාවට බස් එක එනවා කියලා. ඒ වගේම ඒ රටවල වල රියැදුරන්ගේ විනයත් ඉතාම ඉහළයි කියල කියනවා. ඒ රටවල රියැදුරන්ටත් අනෙක් අයට වගේම එක සමාන පහසුකම් තියෙනවා කියලත් අපි අහල තියෙනවා.

ඒ රටවල සෑම කෙනාටම ගරුත්වයක් තියෙනවා කියලත් අපි අහලා තියෙනවා. ඒ වගේම පිටරටවල තණකොළ කපන කෙනත් එන්නේ වාහනෙන් ඒ අය කන්නෙ බොන්නේ අනිත් රැකියා කරන අය කන බොන තැන්වලම කියලත් අපි අහල තියෙනවා.

ඇත්තටම ඒ ගරුත්වය සෑම වෘත්තිකයෙකුටම තිබිය යුතුයි. බස් රථයේ රියැදුරු මහතාටත් කොන්දොස්තර මහතාටත් මේ ගරුත්වය තිබිය යුතුයි.

සෑම රැකියාවටම වෘත්තීය භාවයක් ඇති කළාමයි ගරුත්වය ඇති වෙන්නේ. ඒ කියන්නේ ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ වෘත්තිය පිළිබඳ අභිමානයකින් යුතුව කටයුතු කරන්න පුළුවන් පසුබිම රජයක් විදිහිට අපි ඇති කරනවා.

අපි මෙතෙක් වෙලා කතා කළේ ගරු කියන කොටස ගැනයි. දැන් අපි කතා කරන්න යන්නේ සරු කියන කොටස ගැනයි.

ඒ අනුව සෑම වෘත්තියකම නිරත වෙන කෙනෙකුට සාරවත් ජීවිතයක් ගත කිරීමට හැකිවෙන තත්ත්වයක් ඇති කළයුතුයි. එහිදී ඔබේ වෘත්තියේ සුරක්ෂිත භාවය ආරක්ෂා කරගැනීමත් යම් කිසි විදිහකට අනතුරක් සිදු වුනොත් එහිදී ඔබව බලාගන්න වැඩපිළිවෙලක් ඒ වගේම ඔබෙන් යැපෙන දරු පවුල බලාගන්න ක්‍රමවේදයක් ගැන වගේම ඔබට රැකියාව අහිමි වුනොත් ඊළඟ රැකියාව සොයාගන්නකම් ඔබ කොහොමද ජීවත්වෙන්නේ කියන කරුණු ගැනත් අපි සාකච්ඡා කළයුතුයි.

මේ නිසාමයි අපි ගරු සරු වැඩසටහන පටන්ගත්තේ. එහිදී කම්කරු අමාත්‍යංශ්‍ය සමඟ ආයතන රාශියක් සම්බන්ධ වෙලා තියෙනවා. අපිට අයිතිවෙන්නේ බස් රථ රියැදුරන් සහ කොන්දොස්තර මහත්වරුන් විතරයි. එහිදී මේ සේවාවේ ගුණාත්මක භාවය නියාමනය කිරීම වගේ කරුණු කම්කරු අමාත්‍යංශයේ විෂයට අයත් වෙන්නේ නැහැ.

අපේ විෂයට අයත් වෙන්නේ ඔබව ශක්තිමත් කිරිමත් ඔබව ආරක්ෂා කිරීමත් ඔබට ගරුත්වයක් ලබාදීමත් කියන කාරණා පමණයි.

එහෙනම් මේ කාර්ය කරන්නේ කොහොමද? අපි කම්කරු අමාත්‍යාංශය විදිහට වෘත්තීය පුහුණු ආයතන, ප්‍රවාහන අමාත්‍යංශය, පළාත් මාර්ගස්ථ අධිකාරිය, පළාත් සභාව, පොලිසිය කියන මේ සියලු දෙනාම එකට එකතු කරගෙන සියලුම දේවල් සංවිධානය කිරීමයි කරන්නේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට, අග්‍රමාත්‍යතුමාට වාර්ථා කිරීම අවශ්‍ය වෙනවා. ඒ නිසාමයි අපි හැමවෙලාවෙම අග්‍රාමත්‍ය කාර්යාලයේ, ජනාධිපති කාර්යාලයේ නියෝජිතයින්ටත් ආරාධන කරන්නේ. ඒ වගේම මේ වැඩසටහනට ජාත්‍යන්තර කම්කරු සංවිධානය අපිට නිරන්තරයෙන්ම උදව් කරනවා.

අපි මූලික වශයෙන්ම බලාපොරොත්තු වෙන දෙයක් තමයි ඔබේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම. ඒ අනුව අපි ඇතැම් ක්ෂේත්‍ර වලට යෝජනා කළා ඒ අදාල ක්ෂේත්‍රයේ නියැලෙන්න බලපත්‍රයක් තිබිය යුතුයි කියලා.

ඒත් අද අපි කතා කරන ක්ෂේත්‍රයට දැනටමත් සුවිශේෂී නිතී ක්‍රියාත්මක වෙනවා. දැන් රියැදුරු මහතාටත් කොන්දොස්තර මහතාටත් ලයිසන් එකක් තියෙනවා.

දැනට අපේ රටේ ඕනෑම කෙනෙකුට ඕනෑම වෘත්තියක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි අපි වෘත්තිය ගරුත්වය හදාගන්න නම් ඒ වෘත්තිය කරන්න බලපත්‍රයක් අවශ්‍යයි කියලා ක්‍රමවේදයක් හදාගැනීම කළයුතුයි.

මොකද නැත්තම් අද ඉන්න කෙනා නැති වුනොත් හෙට තව කෙනෙක් දාලා බස් එක දුවන්න පුළුවන් වෙනවා. එහිදී එක පැත්තකින් රැකියාවේ සුරක්ෂිතභාවය නැති වෙනවා. අනිත් පැත්තෙන් රැකියාවට අවශ්‍ය දැණුම ලැබෙන්නෙත් නැහැ.

අපි මේ සඳහා ලයිසන් එකක් තිබිය යුතුයි කියලා යෝජනා කරනවා. බොහෝවෙලාවට මේ ක්ෂේත්‍රයට අදාලව එය ක්‍රියාත්මක වෙනවා.

ඒ වගේම මේ වෘත්තියේ කොයි වගේ අයද සිටිය යුත්තේ? මේ වෘත්තියේදී පිළිපැදිය යුතු දේවල් මොනවාද? කියන කාරණා ඔබ විසින්ම යෝජනා කරලා ඔබම සාකච්ඡා කරලා ඔබේ වෘත්තිය ගරුත්වය ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන පසුබිම සලසා දීමයි අපි ගරු සරු තුලින් බලාපොරොත්තු වෙන්නේ.

මොකද සමාජයෙන් චෝදනා එල්ල වෙන්නේ බස් රථ රියැදුරන් කියන්නේ මහා මාර්ගයේ ඉන්න අමාරුකාරයෝ ටික කියලයි. පාරේ එහෙන් මෙහෙන් දානවා, ට්‍රැෆික් හැදෙන්නේ, අනතුරු සිදුවෙන්නේ, බස්රථ රියැදුරන් නිසා කියලයි බොහෝ වෙලාවට චෝදනා එල්ල වෙන්නේ. ඒ වගේම කොන්දොස්තර මහත්වරුන්ටත් චෝදනා එල්ලවෙනවා.

එහෙනම් මේ චෝදනා ටික අයින් කරගෙන වඩා විනයගරුක, වඩා ක්‍රමවත් විදිහකට වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන කාරණය දෙසට අවධානය යොමු කළයුතුයි. ඒත් ඒකට අවශ්‍ය නීති අපි හදලා දුන්නොත් සාධාරණ වෙන්නේ නැහැ. ඒ නිතී මොනවාද කියලා කිව යුත්තේ ඔබමයි. ෙ ඔබේ වෘත්තියට අදාල ප්‍රමිතීන් මොකක්ද කියන කාරණය ඔබ විසින්මයි කිව යුත්තේ.

එහිදී රියැදුරු වෘත්තීය මණ්ඩලයක්, කොන්දොස්තරුවරුන්ගේ වෘත්තීය මණ්ඩලයක් සකස් කිරීමට අපෙක්ෂිතයි. දැන් වෙනකොට ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය මණ්ඩලය සකස්වීම අවසන් අදියරෙයි තියෙන්නේ.

මෙහිදී මණ්ඩල දෙකක් සකස් වෙනවා. ඔබට අවශ්‍ය නම් මේ දෙක එකතු කරලා බස් වෘත්තිකයින්ගේ මණ්ඩලය කියල එකක් සකස් කරන්නත් හැකියාව තියෙනවා. ඒක තීරණය කළයුත්තේ ඔබයි.

ලබන වසරේදී පාර්ලිමේන්තුවට එන නව රැකීරක්ෂා පනතට වෘත්තීය ගරුත්වය සම්බන්ධයෙන් වෙනම පරිච්ඡේදයක් ඇතුලත් කරල තියෙනවා.

මෙහිදී අපි එක් එක් වෘත්තීන්ට අදාලව මණ්ඩල පිහිටුවිමටත් අදාල බලය ලබාගන්නවා. ඊට අමතරව ඒ වෘත්තීන්ට අදාල ප්‍රමිතීන් ගැසට් කරන්නත් රෙගුලාසි නිකුත් කරන්නත් පනත ඔස්සේ අපි බලය ලබා ගන්නවා.

නීතීඥයින්ට නීතීඥ සංගමය තියෙනවා, ගෘහ නිර්මාණ ශිල්පීන්ට ඔවුන්ගේ ආයතනයක් තියෙනවා. ඉංජිනේරුවන්ට වෙනම ආයතනයක් තියෙනවා. පරිපාලන සේවයට වෙනම ආයතනයක් තියෙනවා. ඒ වගේ ඔබට වෙනම ආයතනයක් තිබිය යුතුයි. ඒක වෘත්තීය සමිතියක් නෙමෙයි. ඒක රජයේ, පාර්ලිමේන්තුවේ සම්මත ආයතනයක් බවට පත් කරනවා.
ඒ සම්මත ආයතනට තමයි අපි මේ පනත මගින් බලය ලබාගන්නේ. ඒ ගන්න ආයතනය සකස් වෙන්නේ ඔබෙන්මයි. ඒකට අපේ නිලධාරීන්ගේ සහයත් ලැබෙනවා. මේ අයතනයේදී ඔබ තීරණය කරනවා අවම සුදුසුකම් මොනවද? අවුරුද්දකට සැරයක් බලපත්‍රය අලුත් කරගන්න ආකාරය. ඒ වගේම මේ බලපත්‍ර දෙන්නේ ඔබමයි. ඒ බලපත්‍ර අලුත් කරන්නෙත් ඔබමයි. විනය පිළිබදවත් බලන්නේ ඔබමයි. එමගින් අපි කලින් කිව්ව ගරුත්වය සකස් කරනවා.

ඒ වගේම ඔබේ ආරක්ෂාව කොහොමද සකස් කරන්නේ ? වැඩ බිමේදී ආරක්ෂාව කොහොමද බලාගන්නේ? කියන කාරණාත් අපි මේකට ඇතුලත් කරනවා.
අපිට ගොඩක් වෙලාවට අනතුරු වෙන්නේ වැඩබිම තුලයි. ඒ නිසා මේ අනතුරු වලක්වාගන්න අපි මොනවගේ ආරක්ෂිත ක්‍රියාමර්ගතද ගතයුත්තේ කියලත් අවධානය යොමු කළයුතුයි. ඔබේ වෘත්තියට ඔබේ ආරක්ෂාවට මෙමගින් වැඩපිළිවෙලක් සකස්වෙනවා.

ඔබට බස් රථවලට දුම් නිසා දීර්ඝකාලීන ලෙඩක් හැදෙන්න පුළුවන්. ඒවා වෘත්තිය නිසා ඇති වෙන රෝග. ඉතින් ඔබව ආරක්ෂා කරන්න නම් වෘත්තිය නිසා ඇතිවෙන රෝග සහ අනතුරු වලක්වා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ අනුව ඒකටත් අවශ්‍ය වැඩපිළිවෙල අපි සකස් කරගතයුතුයි. එතකොට ඒකට අවශ්‍ය නීතිමය බලය ලැබෙනවා.

එතකොට මේවා කවුරුහරි මේවා කඩ කරනවා නම් කම්කරු අමාත්‍යංශයේ නිලධාරීන්ට බලය ලැබෙනව ඔබ කියන පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වෙන්න. ඒ වගේම කම්කරු ප්‍රශ්න අපිටත් අනිත් දේවල් අනිත් ආයතනය වෙතටත් යොමු වෙනවා.

බස් සමාගම් තියෙන අයනම් ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ් ගෙවනවා ඇති. හැබැයි බොහෝ වෙලාවට අපේ රියැදුරු මහත්වරුන්ටවත්, කොන්දොස්තර මහත්වරුන්ටවත් සේවක අර්ථසාධක අරමුදලක් නැහැ. ඒ අයට අවුරුදු 55න් පස්සේ හො රැකියාව කරගන්න බැරි වුනාට පස්සේ හො ජීවත් වෙන්න විදිහක් නැහැ.

ඒ වගේම අතරමගදි අනතුරක් සිදුවෙලා රියැදුරු රස්සාව කරගන්න බැරිවුනොත් එතැනින් එහාට එයාව රැක බලාගන්න ක්‍රමවේදයක් නැහැ. එ් නිසා අපි ලබන වසරේ මැද භාගය වන විට අපි කිව්ව අර අවිධිමත් අංශයේ ඉන්න ලක්ෂ හැටක ජනතාව සමාජ ආරක්ෂණ වැඩසටහනට සම්බන්ධ කරගන්නවා. එමගින් රජයේ සේවකයෝ, පුද්ගලික අංශයේ සේවකයින් වගේ ඔබටත් දීමනා, විශ්‍රාම වැටුප් සියල්ලටම හිමිකම් කියන්න හැකියාව ලැබෙනවා. එහෙම නැති වුනොත් ඔබව බලාගන්න ක්‍රමයක් නැහැ.

මෙහිදී ඔබත් හාම්පුතත් කියන දෙගොල්ලොම මේකට දායකත්වය දෙනවා. ඒ වගේම මේ වගේ ක්ෂේත්‍රයක දී මාස තුනක් එක බස් එකක වැඩ කරනවා. අනිත් මාස තුනේ වෙනත් බස් එකක වැඩකරනවා. ඒ වගේ වෙලාව කටයුතු කරන ආකාරය ගැනත් අපි ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා.

මේ කාඩ් පුද්ගලිකව හිමි වෙන එකක්. ඒ අනුව අදාල කාඩ් එක මත යන ආයතනයෙන් ඔස්සේ අදාල දීමාන වලට අදාලව කටයුතු සිදුවෙනවා. මේ සියල්ල අපි අනාගතය ගැන හිතලා ඔබ සියලුදෙනාම ආරක්ෂා කරන්න කරන වැඩපිළිවෙලක්.

ඒ අනුව මේ රටේ ලක්ෂ හැටක් වුන අනිකුත් සියලුදෙනාටම තමන්ගේ රැකියාවෙන් අනතුරක් සිදු වුනොත් ඔවුන්ව බලාගන්න වැඩපිළිවෙලක්, රස්සාවක් අහිමි වුනොත් ඒ අහිමි වුන කාලයට ඔබට පඩි ගෙවන වැඩ පිළිවෙලක් සකස් කරන්නයි මේ කටයුතු කරන්නේ.
ලෝකයේ බොහො රටවල ඩෝල් එකක්, එ් කියන්නේ රැකියා අහිමි වීමකදි රක්ෂණයක් මගින් මාස කීපයක් එයාලගේ පඩිය ගෙවනවා.

ඒ කියන්නේ රස්සාව නැති වුනොත් ඒකට නඩු කියන්න, තවත් රැස්සාවක් හොයාගන්න ගතවෙන කාලයේදී අදාල තැනැත්තාව බලාගන්නවා. මොකද රැකියාව අහිම වුනාට ඒකට ගෙදර ඉන්න දරුවෝ පළි නැහැ. රැකියාව අහිමිවෙලා පාරට වැටුනොත් කොහොමද දරුවො කන්නේ බොන්නේ? දරුවන් පාසලට යන්නේ?
මේ දේවල් මේ අරමුදල විසින් භාරගන්නවා. ඒක තමයි මේ වැඩපිළිවෙලේ මූලික සංකල්පය. මේක අපිට තනියෙන් කරන්න බැහැ. මේකට අවශ්‍ය ප්‍රමිතීන් රීති හදලා දෙන්නේ ඔබයි. අපි ඒකට පොලිසියේ, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ, ප්‍රවාහන අමාත්‍යංශයේ වගේම නයිල්ස් වගේ අයාතනය වලිනුත් සහය ගන්නවා.

ඒ වගේම නියොෂ් ආයතනය වගේ ආයතන වලින් වෘත්තිය ආරක්ෂාවට දැනුම ලබාදෙන්නත් අපි කටයුතු කරනවා.

ඔබට පාරේ යන එකේ ඉදලා විවිධ චෝදනා තියෙනවා. ඒත් ඒවා නැතිව රස්සාව කරන්න හැමකෙනෙක්ම කැමතියි. හැමෝම බැනුම් අහන්නේ නැතිව ගරුත්වයක් ඇතිව රැකියාව කරන්න කැමතියි. අපිත් දේශපාලඥයින් විදිහට බැනුම් අහන්නේ නැතිව කටයුතු කරන්න කැමතියි. අපි බැනුම් අහන්නේ නැති වෙන්න පුළුවන් තරම් උත්සහ කරනවා. ඒ වගේමයි ඔබත්.

දුවට පුතාට බය නැතිව පාසලට ගිහිල්ලා තමන්ගේ තාත්තා රියැදුරෙක්, කොන්දොස්තර කෙනෙක් කියලා අභිමානයෙන් කියන පසුබිමයි මේ හදන්නේ. අපිට අභිමානයක් අවශ්‍යයි. නැත්තම් වෙන්නේ දරුවා ඇඹරෙනවා තාත්තාගේ වෘත්තිය කියන්න. මොකද හැම තැනම බස් කොන්දොස්තරලාට බනිනවා. රියැදුරන්ට බනිනවා. දේශපාලඥයින්ට බනිනවා.

අපි මේ හැමදේම කරන්නේ දරුවන් වෙනුවෙන්. එහෙනම් බැනුම් අහන්නේ නැතිවෙන්න වැඩිපිළිවෙලක් අපිම හදාගමු. අපි ඒකට සහයෝගය දෙන්නම්. ඒත් ඒකට ඇතුලත් වියයුතු දේවල් මොනවාද කියලා අපි දන්නේ නැහැ. ඒ ගැන දන්නේ ඔබයි. කතරගම ඉදලා කොළඹට බස් එක එළවන එක, ඒකේ කොන්දොස්තර රස්සාව කරන එක කොච්චර පීඩනයක්ද කියලා දන්නේ ඔබයි. මාර්ගයේ ඇති තරගයත් එක්ක ඔබ මුහුණ දෙන ප්‍රශ්ණ මොනවද? දවසට කීයක් හම්බුකරලා දෙන්න ඕනේද? එහෙම නැත්තම් බස් එක නඩත්තු කරන්න කොච්චරක් හම්බුකරන්න ඕනේද කියලා දන්නේ ඔබයි.
පිටකොටුවට ආවාම ඔබට පහසුකම් තියෙනවාද? වැසිකිලි කැසිකිලි පහසුකම් තියෙනවාද? කන්න වෙලාවක් තියෙනවාද? කෑම ටික ගන්න තැනක් තියෙනවාද? මේ වගේ ගැටලු වලට ඔබ මුහුණ දෙනව ඇති. අපි එවා හදාගත්තොත් තමයි වෘත්තියේ ගුණාත්මක භාවය වැඩිවෙන්නේ.

බස් එකෙන් ලබාදෙන සේවාවේ ගුණාත්මක භාවය වැඩි වුනොත් වැඩි පිරිසක් සේවය ලබාගනී. එතකොට ජනතාව කාර් පැත්තක දාලා බස් එක් යයි. එතකොට ඔබේ ආදායම් වැඩිවෙයි. මේක චක්‍රයක්. ඒ නිසා අපි එක තැනකින් නිවැරදි කරනන් පටන් ගත්තොත් මේක නිවැරදි කරලා ඔබේ වෘත්තියේ ගරුත්වය වගේම සාරවත්භායත් හදන්න පුළුවන්.

ඔබට එල්ල වෙන චෝදනා වලට පිළිතුරු දෙන්න පුළුවන් ඔබටමයි. ඒ සඳහා ඔබම හදාගන්නා වෘත්තිය මණ්ඩලය ඔස්සේ ස්ව්‍යං නිර්නායක හදාගන්න කටයුතු කලොත් ඔබේ ජීවන මට්ටම ඉහළ යනවා වගේම ඔබේ ගරුත්වයත් ඉහළ යනවා.

ප්‍රවාහන ක්ෂේත්‍රය කියන්නේ රටක ඉතාම වැදගත් ක්ෂේත්‍රයක්. අපි කොච්චර මාර්ග පද්ධති හැදුවත් වැඩක් නැහැ. ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉන්න ඔබ ගුණාත්මක සේවයක් සැලසුවොත් තමයි අපි රටක් විදිහට ඉදිරියට යන්නේ.

පාරේ ට්‍රැෆික් එක අඩු කරගන්න පුළුවන් වෙන්නේ පුද්ගලික වාහන දාවනය පුළුවන් තරම් අඩු කරලා ජනතාව පොදු ප්‍රවාහනයට පැමිණියොත් විතරයි. බොහො රටවල පුද්ගලික වාහන වලට නගරය ඇතුලට එන්න තහනම් කරල තියෙනවා. නැත්තම් නගරය ඇතුලට පුද්ගලික වාහන එනවා නම් බද්දක් ගහනවා.

ඒත් ඒ වගේ දෙයක් කරන්න අපි පොදු ප්‍රවාහනය ශක්තිමත් කළයුතුයි. ඒකට අදාල යටිතල පහසුකම් වලට අදාල කටයුතු මේවන කොට සිදුවෙනවා. ඒත් සේවාවක් විදිහට මෙහිදී ගණුදෙන කරන්න වෙන්නේ ජනතාව එක්කයි. ඔබ පීඩනයකින් නම් ඉන්නේ ඔබට මිනිස්සුන්ට හොඳට කතා කරන්න බැහැ. ඔබ පීඩනයකින් නම් ඉන්නේ කොච්චර විනය ගරුක වෙන්න කිව්වත් ඔබ පොලිසිය පේනේ නැති වෙනකොට වේගයෙන් යනවා වෙට්ටු දානවා.

ඒ නිසා ඔබ විසින්ම හදාගන්නා වැඩි පිළිවෙලකට රාජ්‍ය සහයෝගය දීමයි අපි කරන්නේ. අපිට මීට අදාල රීති මාලාව හදලා දෙන්න. මොකද අපි පෙබරවාරි මාසය වෙනකොට මේවා ගැසට් කරන්න බලාපොරොත්තු වෙනවා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *