කැබිනට් තීරණ : බඩඉරිඟු, බිත්තර සහ කීරි සම්බා ආනායනයට අවසර ලැබෙද්දි කුළුබඩු අගය එකතුකර අපනයනයටත් අවසර..!

සීමා සහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් බඩ ඉරිඟු ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

වෙළෙඳපොලේ ප්‍රමාණවත් බඩ ඉරිඟු තොග නොමැති වීම හේතුවෙන් කුකුළු කෑම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල හිඟයක් පවතින බව රජය පවසයි.ඒ සඳහා තාවකාලික පියවරක් ලෙස සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් බඩ ඉරිඟු  මෙට්‍රික් ටොන් 15000 ආනයනය  කිරීම සඳහා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට බලපත්‍ර ලබා දී ඇත.

ඒ අනුව ලියාපදිංචි විදේශ සැපයුම්කරුවන් වෙතින් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 15000ක උපරිමයකට යටත්ව ආනයනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ  හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

දේශීය වෙළඳපොළේ බිත්තර මිල සීඝ්‍රයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති ඉන්දීය වෙළඳපොල්වලින් තවත් බිත්තර එක්කෝටි අසූ ලක්ෂයක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ වන විට සීමා සහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා මගින් බිත්තර මිලියන 155ක් ආනයනය කර ඇති අතර 2023. 12.31 දිනට පෙර තවත් බිත්තර තොගයක් ආනයනය  කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

තෝරාගත් කුළුබඩු ආනයනය හා සැකසුම සහ තෙල් නිස්සාරණය,ඔයියෙරෙයාසින් හා අවශේෂ ස්වරූපයෙන් ප්‍රති අපනයනය කිරීමේ ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ කුළු බඩු මුල් ස්වරූපයෙන් අපනයනය කිරීමට වඩා අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීමෙන් වැඩි ආදායමක් ඉපැයීමේ ශක්‍යතාවය පවතින බව රජය පවසයි.

ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා සම්පූර්ණ නව නිපැයුම් ලෙස ඉහළ මට්ටමේ අගය එකතු කළ නිෂ්පාදන නිපදවීමට හැකිවන පරිදි මුල් ස්වරූපයෙන් ඇතැම් කුළුබඩු වර්ග ආනයනය කිරීම සඳහා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිත ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක් රජයට ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව එකී නිෂ්පාදකයන් හට සිය වෙළඳපොළ අවශ්‍යතාවය පුළුල් කර ගැනීම සඳහා මෙම අවසරය ලබාදුන් බව රජය පවසයි.

කීරි සම්බා සහල් වර්ගයට සමාන ජී.ආර් 11 සහල් වර්ගයෙන් සහල් මෙට්‍රික් ටොන්  පනස්දහසක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වෙළඳපොලේ සහල් මිල පාලනය කිරීම සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශය පරිදි සහල් මෙට්‍රික් ටොන් 50000ක් ආනයනය  කිරීම පිණිස 2023/11/20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව දේශීය වෙළඳපොලේ කීරි සම්බා සහල් සහ සම්බා සහල්වල මිලෙහි තරගකාරීත්වයක් ඇති කරමින් මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙම සහල් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *