චීනයෙන් ලංකාවට ලොකු ඇණවුමක්..!

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, කහ, කුරුඳු වැනි කුළුබඩු මිල දී ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මේ දිනවල විශේෂ චීන වෙළෙද නියෝජිත පිරිසක් මෙරට සංචාරයක නිරතව සිටින බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

චීන කුළුබඩු ආනයනකරුවන්ගේ සංගමයට අයත් ආයතන 42ක නියෝජිතයෝ ඊට එක්ව සිටිති.

50 දෙනෙකුගෙන් සමන්විත එම නියෝජිත පිරිස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින් සමග අපේ රටේ නිෂ්පාදනය කෙරෙන කුළුබඩු සම්බන්ධව සාකච්ඡාවක නිරත විය.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා, අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති හා කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මණ්ඩලයේ සභාපතිනි කුමුදිනි ගුණසේන යන මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන වෙළෙඳ නියෝජිත පිරිස එරට කුළුබඩු අලෙවි කරන සමාගම් 42ක නියෝජිත පිරිසකි.

එම චීන සමාගම් දැනට වසර දෙකක කාලයක් තිස්සේ කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මණ්ඩලය විසින් නිෂ්පාදනය කෙරෙන කුළුබඩු මිල දී ගන්නා සමාගම් වේ. මෙම කටයුතු සඳහා වසර දෙකක් සපිරීම නිමිත්තෙන් අපේ රටේ කුළුබඩු නිෂ්පාදන ක්‍රියාවලිය දැක බලා ගැනීම සඳහා එම පිරිස අපේ රටට පැමිණ ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති රැස්වීමේ දී අපේ රටේ කුළුබඩු සම්බන්ධව අදහස් පළ කළ එම පිරිස ශ්‍රී ලංකාවේ කුළුබඩු ලෝකයේ උසස්ම කුළුබඩු ලෙස නම් කළ හැකි බව සඳහන් කළේය.

විශේෂයෙන් අපේ රටේ කුළුබඩුවල නිෂ්පාදන තත්ත්වය තවදුරටත් ඉහළ දැමීමට පියවර ගත යුතු බවත්, අවශ්‍ය නම් ඒ සඳහා සියලු සහයෝගය ලබා දීමට තම සමාගම් සුදානම් බවත් ඔවුහු කියා සිටියහ.

මේ අතර එම නියෝජිත පිරිස බත්තරමුල්ල කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට ගොස් එහි ප්‍රධාන අලෙවි සැල නිරීක්ෂණයට ද පියවර ගත්තේය.

– Media unit

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *