හතරවටින් පැණි බේරෙයි..! ධම්මික පැණි බීපු අයත් පොසිටිව් වෙලා..!

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ තොග වෙළදාමේ නිරතව සිටි ව්‍යාපාරිකයෙක් මෙම වසරේ මුල් කාර්තුවේදී ස්විට්සර්ලන්තය බලා පිටත්ව යන්නේ සිය අඹු දරුවන්ද සමගිනි. ඒ යම් ජීවිත තර්ජනයක් හේතුවෙන් දේශපාලනික රැකවරණය පතාය. ඒ ඔහුට දේශපාලනික වශයෙන් එල්ලවුණු තර්ජනයක් හේතුවෙන් නොව ව්‍යාපාරික කටයුතු සමග බැදුණු පාතාලයෙන් එල්ල වුණු යම් සංසිද්ධියක් මුල්කර ගෙනය.

ස්විට්සර්ලන්තයට ඔහු අඹුදරුවන් සමග ඇතුළුවන විට යුරෝපාකරයේ කොවිඞ් 19 පවතින්නේ වේගවත් ව්‍යාප්තියකය. ස්විට්සර්ලන්තයටද ඉන් ගැලවිල්ලක් නොවීය. ස්විට්සර්ලන්තය පුරා කොවිඞ් 19 වෛරසය ව්‍යාප්ත වෙමින් ස්විස් ජනතාව සමග වසංගතයට හසුවන විට මෙකී ව්‍යාපාරිකයා සිය අඹුදරුවන් සමග නවාතැන් පොළේම රැඳී සිටින්නට වූයේ ස්විස් රජය විසින් පැනවූ සංචරණ සීමාවන්ට ගරුකරමිනි. නවාතැන් පොළින් මෙකී ව්‍යාපාරිකයා පිටතට ගියේ නම් ඒ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමක් සදහා වෙළෙඳ සැළකට පමණි. එහි අපේ රටේ මෙන් සිල්ලර වෙළෙඳ සැල් සොයා ගන්නට නැත. යා යුත්තේ සුපර් මාකට් එකකටය. කොවිඞ් වෛරසයෙන් ආරක්ෂා වීමට එම සුපිරි වෙළද සැල්වල ආරක්ෂක ක්‍රම රාශියක් ක්‍රියාත්මක වූවත් මෙකී ව්‍යාපාරිකයාට නම් කොවිඞ් 19 වෛරසයෙන් ගැලවිල්ලක් නොවීය. ඔහුගෙන් අඹුදරුවන්ටද කොවිඞ් 19 වෛරසය සම්ප්‍රේෂණය වූයේ ඔවුන්ද රෝගීන් බවට පත්කරමිනි. මේ අය සියලු දෙනාම ප්‍රතිකාර සදහා යොමු කෙරෙන්නේ ස්විස් රෝහලකටය.

පිටරටදි දෙන කොරෝනා බෙහෙත

ඒ වන විට තරමක් රෝගී තත්ත්වය උත්සන්නව සිටි ව්‍යාපාරිකයාට වෙන්වන්නේ රෝහලේ දැඩි සත්කාර ඒකකයකි. එම ඒකකයට ඇතුළත් කරන පළමු අවස්ථාවේදීම ඔහුව ඇතුළත් කරන්නේ මළ සිරුරු බහාලන ඉටි කවරයකටය. ඒ මුහුණ පමණක් පිටතට පෙනෙන ලෙසිනි. එසේ කවරයක බහාලන්නේද ඒ ගැන රෝහල් බලධාරීන් රෝගියා සහ පවුලේ අය දැනුවත් කිරීමකින් අනතුරුවය. ඒ යම් විටක රෝගියා මිය ගියහොත් මුහුණ කොටස වසා මළ සිරුර මුද්‍රා තැබීමට පහසුවන ආකාරයටය. මේ සඳහන් කරන ව්‍යාපාරිකයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කාලසීමාව තුළ ඔහුගේ දෑසට පෙනෙමින් මිය ගිය රෝගීන් ගණන දහ පහළොවකට වැඩිය. එහෙත් කොවිඞ් 19 වෛරසය සමග සටන්කර ජීවිතය ගලවා ගන්නට මෙකී ව්‍යාපාරිකයා සමත් විය. ඒ දැඩි සත්කාර ඒකකයේ සිටි සතියක පමණ කාලය තුළ ලද සේලයින් සත්කාරයෙන් පමණි. අනතුරුව ඔහුට තවත් දින කිහිපයක් රෝහලේ රැඳී සිටීමට සිදුවිය. ඒ වන විට ඔහුගේ බිරිඳ සහ දරුවන් සුව වී රෝහලින් පිටව ගොස් රැඳී සිටියේ නවාතැන් පොළට වී ස්වයං නිරෝධායනයේය. ව්‍යාපාරිකයාට තවත් සතියක් රෝහලේ ගතකරන්නට සිදුවිය. එහිදී ඔහුට ප්‍රතිකාර යැයි කියා ලැබෙන්නේ දෙහි යුෂ සහ ඉඟුරු දැමූ උණුසුම් ජලය නිතර පානය කිරීමට ලබාදීම පමණි. එය ආසියාතිකයෙක් වූ ඔහුට පමණක් රෝහලින් ලබාදුන් ප්‍රතිකාරයක් නොව රෝහල්ගතව සිට කොවිඞ් 19 වෛරසය ආසාදිත සෑමට රෝහලින් ලැබූ එකම සත්කාරය වූයේ එයයි. සිය අඹුදරුවන්ට පවා රෝහලින් ලැබී තිබුණු ප්‍රතිකාරය වූයේද ඉඟුරු සහ දෙහි යුෂ අඩංගු උණුසුම් පානය බවද ඔහු පසුකාලයේ දැන ගත්තේය.

බටහිර රටවල්වලත් දුම් ඇල්ලුවා…

ස්විටර්ලන්තයේ පමණක් නොව, බටහිර ලෝකයේ බොහෝ රටවල කොවිඞ් 19 වෛරසයට ගොදුරුවූ ජනතාව වෙනුවෙන් ප්‍රතිකාරය වූයේ මෙවන් අත්හදා බැලීම්ය. කොවිඞ් 19 පළමු රැල්ලට ගොදුරුවී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ රෝගීන් මාධ්‍ය හමුවේ පවසන්නට වූයේ කොත්තමල්ලි, සහ දේශීය සහල්වලින් සැකසූ කැඳ වර්ග නිරන්තරයෙන් තමන්ට රෝහලින් ලැබුණු බවය. ඊට අමතරව විවිධ දේශීය ඹෟෂධ අඩංගු දූමායනයක් පවා රොගීන්ට ආශ්වාස ප්‍රස්වාස කරන්නට ලැබී ඇත්තේ විෂබීජවලට එරෙහිව ක්‍රියාත්මක වීමටය.
දුම් පොට්ටනි, කොත්තමල්ලි, ඉඟුරු, දෙහි, කහ ආදී මේ දේවල් බටහිර වෛද්‍ය ක්‍රමයේ අංගයන් නොවූවත් ඒවා කොවිඞ් 19 වෛරසයට එරෙහි සටනේදී බටහිර වෛද්‍ය සායනයන්ට එකතුවන්නේ වෛද්‍ය ක්‍රමයන් කුමක් වූවත් ඒ කුමන හෝ ක්‍රමයකින් වෛරසයට එරෙහිව ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීම අරමුණුකර ගනිමිනි. එහෙත් ඒ සියල්ලක්ම කොවිඞ් 19 පළමු රැල්ලේදී ආධිපත්‍ය පතුරුවාගෙන සිටියේ බටහිර වෛද්‍යවරුන් විසිනි. දේශිය ආයුර්වේද වෛද්‍යවරුන් කොවිඞ් 19 වෛරසයට එරෙහි සටනේ පළමු රැල්ලේ දී සැබවින් ලැබෙන්නේ කුඩම්මාගේ සැළකිල්ලකි.

නාවික පොකුරට කරපු දේ…

දේශීය ආයුර්වේදයේ ඇති ඖෂධ කොවිඞ් 19 වෛරසයට එරෙහිව යොදා ගැනීම සඳහා පරීක්ෂණයක් කිරීමට තරම් උත්තේජනයක්වත් ආයුර්වේද වෛද්‍යවරුන්ට ලබාදීමට කිසිදු බලධාරියෙක් උනන්දුවක් නොවීය. කොවිඩි 19 වෛරස ආසාදිත රෝගීන් ප්‍රතිකාර සදහා තමන්ටත් ලබාදෙන ලෙස ආයුරේවේද වෛද්‍යවරුන් වගකිව යුත්තන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියත් ඒවා බීරි අලීන්ට වීනා වයන්නක් බවට පත්වූයේ බටහිර වෛද්‍ය ක්‍රමය ගැන ඒ අයගේ පූර්ණ විශ්වාසය පැවැති නිසා විය හැකිය. ආයුරේවේද වෛද්‍යවරුන්ට කොවිඞ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් ඒ පළමු කොවිඞ් රැල්ලේ අවසාන භාගයේදී වැලිසර නාවික හමුදා කඳවුරෙන් කොවිඞ් පොකුරක් බිහිවීමත් සමගිනි. ආයුර්වේදයේ විවිධ ඹෟෂධ වට්ටෝරුවලින් සකස් කළ කසාය වර්ග සහ පැණි වර්ග එහිදී නාවික හමුදාවේ සාමාජිකයන්ට ලබාදෙන්නේ කොවිඞ් 19 ව්‍යාප්තිය නාවික හමුදා කඳවුරට පමණක් සීමා කරමිනි.
නැවතත් ආයුර්වේදයේ සහය කොවිඞ් 19 වෛරස ව්‍යාප්තියට එරෙහිව යොදා ගැනෙන්නේ කොවිඞ් දෙවැනි රැල්ලේ ව්‍යාප්තිය හමුවේය. පළමු කොවිඞ් රැල්ල තරම් මර්දනය කිරීම පහසු නොවූ දෙවැනි රැල්ලේ පොකුරු දිවයින පුරාම බිහිවන්නට පටන් ගන්නේ ඉතා කෙටි කාලයක් තුළදීය. එකවර හටගන්නේද විශාල පොකුරුය. ඒ අතරින් බන්ධනාගාර පොකුර සුවිශේෂී වන්නේ එම පොකුර පාලනය කිරීමට බහුල වශයෙන් යොදා ගැනෙන්නේ ආයුර්වේදයේ ඹෟෂධ වට්ටෝරු වන බැවිනි.

ධම්මික කපු මහතා එළියට ආ හැටි

ලෝකයටම පීඩාවක් ගෙන දෙමින් සමස්ත ජන වර්ගයාගේම පැවැත්මට බලපා ඇති කොවිඞ් 19 වෛරසය මැඩලීමට බලවත් සෑම රටක්ම බටහිර ඖෂධ නිර්මාණය කිරීමට දැඩි වෙහෙසක් ගෙන ඒවා යම් සැලකිය යුතු ප්‍රමාණයකින් සාර්ථකත්වය ලබමින් සිටියදී අපේ රටේ දේශිය හෙළ වෙදකමට ලැදි බොහෝ පිරිසක් විවිධ ඖෂධ වර්ග කොවිඞ් 19 වෛරසයට එරෙහිව පසුගිය කාලය පුරාවටම ඉදිරිපත් කළහ. ගහ කොළ පැලෑටි සාරයන්වලින් නිෂ්පාදිත එම ඖෂධ අතරින් රටේ වඩාත් කථාබහට ලක්වූයේ කාලි අම්මා වෙනුවෙන් දේවාලයක් පවත්වාගෙන යන කෑගල්ලේ ධම්මික නම් වූ අයෙක් විසින් නිෂ්පාදිත පැණියකි. ඒ ඔහුගේ නිෂ්පාදනයට ලද අසීමාන්තික මාධ්‍ය ප්‍රචාරය හේතුවෙන් සහ සෙසු ඖෂධ නිෂ්පාදකයන්ට නොමැති දේශපාලනික අනුග්‍රහය ඔහුට ලැබෙන්නට වූ බැවිනි. ආයුර්වේද හෝ පාරමිපරික හෝ වෛද්‍යවරයෙක් නොවන ධම්මික බාසුන්නැහේව දැන් අපේ රටේ ප්‍රභූ පැලැන්තිය පවා හදුන්වන්නේ ධම්මික වෙදමහතා යැයි කියාය. ඒ මෙම පැණිය නිසාය.

බැර ලෝහ මොනවත් නෑ

කොවිඞ් 19 වෛරසයට එරෙහිව ධම්මික වෙදමහත්තයා යැයි සඳහන් මේ පුද්ගලයා සොයාගත් පැණිය තවමත් ඖෂධයක් ලෙස තහවුරුකර නැතත් එම පැණිය කොවිඞ් 19 වෛරසයට එරෙහිව සාර්ථක ඔසුවක් බව ජනතාව අතර දැඩි විශ්වාසයක් පවතී. ඖෂධයේ නිර්මාණකරු වන ධම්මික පවසන්නේ එම ඖෂධ වට්ටෝරුව තමන්ට ලබාදුන්නේ කාලි මෑණියන් විසින් බවය. කාලි දෙවියන් නැති නම් කාලි මෑණියන් අදහන උග්‍ර දේවවාදියෙක් වන ධම්මික මේ සියලු දේවල් කරන්නේ යැයි කියනුයේ කාලි මෑණියන් සිය සිරුරට අවේශ වීමෙන් අනතුරුවය. ඔහුගේ මෙම පැණිය ගැන ගැටලු තිබුණත් එහි අන්තර්ගත සංඝටක සම්බන්ධයෙන් මේ වන විට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කර ඇති පරීක්ෂාවකින් තහවුරුවී ඇත්තේ යැයි සදහන් වන්නේ එහි සිරුරට අහිතකර බැර ලෝහ කිසිවක් නොමැති බවකි. ඊට අදාළ වාර්තාවන් ඉදිරියේදී ප්‍රසිද්ධ වීමට නියමිතව ඇති අතර ඒ තුළින් කියා පාන්නේ ධම්මික පැණිය කොවිඞ් 19 වෛරසයට එරෙහි ප්‍රතිකාරයක් යැයි කියා නොව එම පැණිය භාවිතා කිරීමෙන් මිනිස් සිරුරට හානියක් නොවන බවකි. ඊළඟට කරන්නට ඇත්තේ මෙම පැණිය කොවිඞ් 19 ආසාදිත රෝගීන්ට ලබාදෙමින් යම් විද්‍යාත්මක පදනමකට අනුව සායනික පරීක්ෂාවක් කිරීමය.

සායනික පරීක්ෂාවක් තවම නෑ…

හැබැයි පැණිය මාධ්‍ය ඔස්සේ එළියට ආවේ නම් වතුපිටිවල පිහිටි කොවිඞ් රෝහලේ රොගීන්ට මෙම පැණිය ලබාදෙමින් සායනික පරීක්ෂාවක් කළ බවකි. ඒ පිටුපසම රාජ්‍ය මැදිහත්වීමක් තිබී ඇතැයි තහවුරු වන්නේ ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය ඇමති චන්න ජයසුමන පැණියත් සමග බද්ධව සිටීම නිසාය. වතුපිටිවල රෝහලේ සායනික පරීක්ෂාව ගැන කියන්නේ ඔහුය. එහෙත් වතුපිටිවල කොවිඞ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේද අධික්ෂණ නිලධාරියා වන වතුපිටිවල රෝහල් අධ්‍යක්ෂක නම් සදහන් කරන්නේ එවැනි සායනික පරීක්ෂාවක් තමාගේ අනුදැනුම මත සිදුව නොමැති බවකි. ධම්මිකගේ පැණියට මාධ්‍ය ප්‍රචාරයක් ලැබෙන්නේද සායනික පරීක්ෂාවෙන් කෙවිඞ් 19 වෛරසයට එරෙහිව සාර්ථක ප්‍රතිඵල ලැබුණු බව ප්‍රකාශ වීම නිසාය.
ඒත් එක්කම අපේ රටේ රාජ්‍ය ඇමතිවරු ධම්මිකව වෙද මහතෙකු බවට පත්කරමින් ඔහුව කරපින්නාගෙන රට වටේම යන්නට වූයේ ඔහු දේවත්වයේ තබාගෙනය. ඒ ආයුරේවේද හෝ බටහිර හෝ දේශීය හෝ මොනයම් ඖෂධයක් කවුරුන් නිෂ්පාදනය කළත් එම ඖෂධය ජනතාවට ලබාදීමේදී ඊට පෙර කළ යුතු කිසිදු විද්‍යාත්මක පරීක්ෂාවකින් තොරවය. මෙහිදී ඇතැම් පුද්ගලයින් තර්ක කරනුයේ හෙළ ඔසු සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂාවක් නොකෙරෙන බවකි. ඒ අයට අනුව යම් වස වර්ගයක් ඖෂධයක් ලෙස හඳුන්වා දුන් විට ඒවා මිනිස් සිරුරට හිතකරද නැද්ද යන්න වග යම් පරීක්ෂාවකින් තොරව භාවිතා කර මිය යායුතු බවකි. විද්‍යාත්මක පරීක්ෂාව බටහිර වෛද්‍යක්‍රමය ඔස්සේ කියැවුණත් දේශීය හෝ හෙළ හෝ වෙනත් ඕනෑම ඹෟෂධයක් නිෂ්පාදනය කිරීමෙන් පසු එහි ගුණ අගුණ තීරණය වන්නේ ඒවා රෝගීන්ට ලබාදී එම ඖෂධයට රෝගියා දක්වන ප්‍රතිචාරය සහ රෝගය සුව වීමේ ප්‍රවනතාවය සැළකිල්ලට ගෙනය. සරලව සදහන් කළහොත් විද්‍යාත්මක පරීක්ෂාවක් කියන්නේ ඊටය. තණකොල ගසක් වුවත් ඔසුවක් ලෙස භාවිතා කරනුයේ කාලයක් තිස්සේ එහි ඹෟෂධිය ගුණය පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. එසේ නොවී ඖෂධයක් සොයා ගත්තේයැයි කියූ පමණින් එය ඖෂධයක් ලෙස පිළි ගැනෙන්නේ නැත. ධම්මිකගේ පැණිය සම්බන්ධයෙන්ද වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කරන්නේ එසේය. එහෙත් ඒ පැණිය කොවිඞ් රෝගීන් වෙනුවෙන් නිෂ්පාදිත ඖෂධයක් යැයි නම් කර කොවිඞ් 19 වෛරස වැලදුණු රෝගීන්ට ලබාදීමට වළිකන්නේ දේශපාලනඥයන්ය. ඒ අය අතර මැති ඇමතිවරුන්ද නැතුවා නොවේ. ධම්මිකගේ පැණිය සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත ගොඩනැගෙමින් ධම්මික දෙවියෙක් මෙන්ම ජෝකර්වරයෙක් බවට පත්ව ඇත්තේද මේ දේශපාලනඥයන්ගේ ලකුණු දමා ගැනීමේ ක්‍රියා පිළිවෙත නිසාය.

යන්ත්‍රසූත්‍ර මහපරිමාණෙන් දෙයි

ධම්මික සඳහන් කරන ආකාරයට අනුව මෙම ඖෂධය ඔහුට කාලි අම්මාගෙන් ලැබුණේද? නැති නම් එය හිතලුවක්ද? යන්න මෙහිදී අදාළ නැත. අදාළ වන්නේ එකී පැණිය කොවිඞ් 19 රෝගයට ප්‍රතිචාර දක්වන්නේද මිනිස් සිරුරුට හානියක් නොවන්නේද යන්න පමණි. අතුරු ආබාධ නොමැති නම් කොවිඞ් 19 රෝගයට කුමන ප්‍රතිචාරයක් දැත්වූවත් එය භාවිතා කළා යැයි කියා කිසිදු හානියක් සිදුවන්නේ නැත. එහෙත් මේ පැණිය පොර කකා පසු ගිය දිනවල කෑගල්ලේදී ධම්මිකගේ අතින් ජනතාව ලබාගත්තේ නම් එවැනි පරීක්ෂාවකින් ප්‍රතිඵල ලැබෙන්නට මත්තෙනි.
ධම්මික සදහන් කරන ආකාරයට අනුව ඔහු මේ පැණිය නිෂ්පාදනය කරන්නේ සාදික්කා ඇතුළු දේශිය ඖෂධීය ශාඛ ද්‍රව්‍ය අඩංගු වට්ටෝරුවක් සමග මීපැණි රත්කරමිනි. මීපැණි රත්කිරීමේ ගුණ දොස් ගැනද පසුගිය කාලයේ දැඩි කථාබහක් පවා ඇති විය. එහෙත් මීපැණි රත්කර පානය කිරීමෙන් මිනිස් සිරුරට හානියක් නොවන බව මේ වන විට තහවුරු වී හමාරය. එසේම සාදික්කාද ප්‍රමාණය ඉක්මවා භාවිතා කිරීමෙන් අතුරු ආබාධ ඇතිවන බව ආයුර්වේද වෛද්‍යවරුන් පවා ප්‍රකාශ කළේය. ඒ සාදික්කා ඇඹරීමට ඔහුට කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ලබාදීමත් සමගිනි. ඊට පෙර ඔහු සිය ඖෂධ නිෂ්පාදනයට සාදික්කා අඹරාගත්තේ යැයි සඳහන් වූයේ නිවෙස්වල ඇති කුඩා ඇඹරුම් යන්ත්‍රයකිනි. කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඔහුට ලබාදුන් ඇඹරුම් යන්ත්‍රය නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ මුළු රටටම පැණිය දෙන්නට සාදික්කා ඇඹරීමට ඒ තුළින් හැකියාව ඇති බවකි.

රහස් බෙහෙතක් පැණියට දැම්මාද

යම් ඖෂධයක් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ සිට එය ඹෟෂධයක් ලෙස අනුමත කිරීම දක්වා ඕනෑම වෛද්‍ය ක්‍රමයක යම් ක්‍රමවේදයක් තිබේ. ධම්මිකගේ පැණිය සම්බන්ධයෙන්ද එය එසේමය. දේශපාලනඥයන් පිරිසක් ගාල කඩාගත්තවුන් ලෙස ජනතාවට පැණිය පොවන්නට සූදානම් වන විට එය වැළකී යන්නේ බටහිර මෙන්ම දේශීය ආයුර්වේද වෛද්‍යවරුන්ද ක්‍රමවේදයෙන් පිය කරන ඒ ක්‍රියාවන්ට එරෙහිව හඬ නඟන්නට වූ බැවිනි. ඒ අනුව මුලින්ම සිදුවන්නේ එකී පැණිය නිෂ්පාදනය කිරීමේ කටයුත්ත සිදු කෙරන ස්ථානයට අනුමැතිය ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ලබාදීමය. අණපනත්වලට අනුව එම අවස්ථාව ලබාදීමට හැකියාව ඇත්තේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකුට පමණි. එබැවින් ධම්මිකගේ පැණිය නිෂ්පාදනය කරන කෑගල්ලේ නිෂ්පාදනාගාරය ලියාපදිංචි කෙරන්නේ ධම්මික වෙනුවෙන් රජයේ ලියපදිංචි උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ නමිනි. එම පැණියේ නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කිරීමට ආයුර්වේද නිලධාරීන් කණ්ඩායමක් කෑගල්ලට පැමිණෙන්නේ අනතුරුවය. එහිදී එම නිලධාරීන් කණ්ඩායම ඉදිරියේ ඔහු පැණිය නිෂ්පාදනය කළ යුතු විය.

විද්‍යාගාර පරීක්ෂා කිරීම් සඳහා පැණියේ සාම්පල් ලබා ගන්නේ එමගිනි. මෙහිදී එම නිලධාරීන්ගේ ඇස් වසා නිෂ්පාදනය වෙමින් තිබුණු පැණියට යම් ද්‍රව්‍යක් දැමූ බවට පවා ධම්මිකට චෝදනාවක්ද එල්ලවිය. එම චෝදනාව ඔහු එහිදී ප්‍රතික්ෂේප කර ඇත්තේ කාලි අම්මාගේ නමින් දිවුරමිනි. එම දිවුරුම නිලධාරීන්ට විද්‍යාත්මක නොවීය. ඒ නිසාම ධම්මිකට සිදුවන්නේ දිවුරුම් ප්‍රකාශයකින් ඒ බව සඳහන් කරන්නටය. විද්‍යාගාර පරීක්ෂාවන් ඇතුළු සියලු පරීක්ෂාවන්ට යොමු කරන්නේ එදා එසේ නිලධාරීන් ඉදිරියේ නිෂ්පාදනය කළ පැණියය.

මෙසේ නිෂ්පාදනය කළ තම පැණිය ධම්මික විසින් මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පවා රැගෙන ගොස් පූජා කළේය. අස්ගිරි මල්වතු ඇතුළු මහා නායක හිමිවරුන්ටත් පූජා කළේය. ඊට පුළුල් මාධ්‍ය ප්‍රචාරයක්ද ලබාදීමට ධම්මිකගේ පැණිය එළියට දැමීමට පුල පුලා බලා සිටින්නන් සිදු කළේය. ඒ එම පැණිය පිටුපස්සේ ඇති අනාගත ආර්ථික වාසියට කෙළ හලන්නන්ය. පැණියට නිසි අවසරය ලැබෙන්නටත් මත්තෙන් ඊට පුළුල් ප්‍රචාරයක් දෙමින් රටේ සියලු ප්‍රශ්න පැණිය ඉස්සරහට දමා අමතක කරන්නට උත්සහ ගත්තේත් ඔවුන්ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නොවන්නට මේ වන විටත් මේ රටේ රෝහල්වල කොවිඞ් රෝගීන්ට අනුමත එකම ඖෂධය වී තිබෙන්නේ ධම්මිකගේ පැණියය. දළදා මාළිගාවටත් අස්ගිරි හා මල්වතු හිමිවරුන් අභියසටත් ධම්මික සමග පැණිය රැගෙන යාමේ පිටුපසද ඒ අය සිටියෝය. ඒ ධම්මිකගේ පැණියට පිළිගැනීමක් ඒ තුළින් ලබා දෙන්නටය. එහෙත් වැඩ වරදින්නේ පැණිය ජයශ්‍රීමහා බෝධීන් වහන්සේට පූජා කරන්නට ගොස් ධම්මික වැඩ වරද්දා ගන්නා බැවිනි. එසේ නොවන්නට ධම්මිකගේ පැණිය මේ වන විටත් සමාජයේ බහුතරයක් විචක්ෂණශීලීව සොයා බැලීමකින් තොරව පිළිගෙන හමාරය.

කාලේ බෝතල් මෙච්චර ලැබුණේ කොහොමද?

ඒ තත්වය මත ධම්මිකගේ පැණිය රාජ්‍ය මැදිහත්වීමකින් තොරව හිතුමතේට ජනතාවට බෙදා හරීමට ධම්මිකව පොළඹවූ අවස්ථාද නැතුවාම නොවේ. ඔහුට කාලේ බෝතල් දහස් ගණනක් යම් ව්‍යාපාරිකයෙක් මගින් ලැබෙන්නේත් පැණිය නිෂ්පාදනය සදහා අමුද්‍රව්‍ය විශාල වශයෙන් ලැබෙන්නේත් ඊට සමගාමීවය. ඒ අතර ධම්මිකට මිල මුදල්ද නොලැබුනා නොව. මිලියනයේ දෙකේ නෝට්ටු බන්ඩල්ද ධම්මිකට පූජා කල අයද නැත්තේම නැත. ඒ තුළින් ශක්තිමත් වන ධම්මික සිය පැණිය නිෂ්පාදනය කරමින් පස්සා දොරින් බෙදා හරින්නට ගත්තේ ඉස්සරහට තැබූ පය පස්සට නොගෙනය. ඒ පිටුපස දේශපාලන ශක්කියක්ද ඔහු වටා විය. කළුතර කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඞ් 19 වෛරස ආසාදිත පොලිස් නිලධාරීන් කණ්ඩායමකටත් බන්ධනාගාරයේ කොවිඞ් 19 වෛරස ආසාදිත රැඳවූවන්ටත් ධම්මිකගේ පැණිය බෙදා හැරෙන්නේ ඒ අනුවය. පැණිය භාවිතා කළ එම රෝගීන්ගේ ප්‍රතිචාරය යම් කොටසකට යහපත් වූවත් සෙසු පිරිසට සාමාන්‍ය විය.

පැණිය බීපු අයටත් කොරෝනා හැදිලා

ධම්මිකගේ පැණිය හොර රහසේ ලබාගෙන පානය කළ පිරිස් මේ වන විටත් රට පුරාම සිටිති. එසේම ධම්මිකගේ පැණිය ප්‍රසිද්ධියේ පානය කළ අයද නැතුවාම නොවේ. ඒ අය අතර ඉහළින්ම සිටින්නේ සෞඛ්‍ය ඇමති පවිත්‍රා දේවි වන්නි ආරච්චිය. එසේම කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු ආණ්ඩු පක්ෂයේ බහුතරයක්ම ධම්මිකගේ පැණිය ලැබී තිබුණේය. ඒ අය අතරින් කැබිනට් ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙක්ම මාධ්‍ය ඉදිරියේ පැණිය බොමින් ඊට රාජ්‍ය අනුග්‍රහය පවා ලබාදුන්හ. කථානායක මහින්ද යාපා අබේවර්ධනට ධම්මිකගේ අතින්ම ලද පැණි බෝතලය භාවිතා කළේද නැද්ද යන්න මෙතෙක් තහවුරුවී නැත. ධම්මික සදහන් කරන ආකාරයට අනුව පැණි කාලක් පස් දෙනෙකුට හොඳටෝම ප්‍රමාණවත්ය. ඒ අනුව ධම්මිකගේ පැණි බෝතලය විසි දෙනෙකුට හොඳටෝම ප්‍රමාණවත්ය. කථානායක එම පැණිය භාවිතා කළේ නම් ඔහුගේ ආරක්ෂකයින්ටත් එය නොදී සිටින්නේ නැත. එහෙත් දැන් කථානායකගේ ආරක්ෂකයින්ගෙන් දෙදෙනෙක් සිටින්නේ කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමිනි. ඒ තත්වය මත කථානායකවරයාද සිටින්නේ නිරෝධායනයේය. කථානායකවරයාට කොවිඞ් 19 වෛරසය අසාදනය වී තිබේද නොතිබේද යන්න පිළිබඳ මෙතෙක් තහවුරුවීමක් නැත්තේ පී.සී.ආර්. පරීක්ෂාවකට මෙම ලිපිය සටහන් තබන මොහොත දක්වාම ඔහුව යොමුකර නොමැති බැවිනි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන පැණිය භාවිතා කළේ දැයි පැහැදිලි නැතත් ධම්මිකගේ ඒ පැණිය භාවිතා කළ කිහිප දෙනෙක්ම මේ වන විට කොවිඞ් 19 වෛරසය ආසාදිතයන් අතර සිටින බව කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසිනි.
එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරන්නේ ධම්මිකගේ පැණිය භාවිතා කළ වරකාපොළ සහ කෑගල්ලේ පදිංචි අවුරුදු 05 ක දරුවෙක් මවක් ඇතුළු පස් දෙනෙක් කොවිඞ් 19 වෛරසයට ගොදුරුවී ඇතැයි වාර්තා වන බවය. ඒ බව අනාවරණය වී ඇත්තේ එම රෝගීන් තමන් ධම්මිකගේ පැණිය භාවිතා කළ බව සෞඛ්‍ය නිලධාරීන් හමුවේ පවසා තිබීම හේතුවෙනි. ධම්මිකගේ පැණිය භාවිතා කළ පළමු කොවිඞ් ආසාදිතයා හමුවන්නේ වරකාපොළෙනි. වරකාපොළ මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත කුමාර සදහන් කරන්නේ වරකාපොළින් හමුවූ කොවිඞ් ආසාදිතයින් 12 දෙනෙක් අතර ධම්මිකගේ පැණිය භාවිතා කළ පුද්ගලයා සිටි බවය. ඇය කාන්තාවකි. ඇගේ පවුලේ සාමාජිකයින් සදහන් කරන්නේ ඇය එම පැණිය භාවිතා කළේ එක් වරක් පමණක් බවකි. පවුලේ සෙසු අය එම පැණිය නියමිත ආකාරයට භාවිතා කළ බවත් තමන්ට කොවිඞ් ආසාදනය වී ඇතැයි මෙතෙක් තහවුරු වී නොමැති බවත්ය. එම අයට තහවුරු වී නැතැයි ඔවුන් කියන්නේ මෙතෙක් ඔවුන්ව පී.සී.ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂාවකට යොමුනොකර තිබියදීය.
මේ තත්වය මත ධම්මිකගේ පැණිය භාවිතා කර සමාජයට වැඩි වශයෙන් නිරාවරණය වූ පිරිස් සිටින්නේ තරමක් භීතියට පත්වය. මේ තත්වය මත ධම්මිකගේ පැණිය භාවිතා කර කොවිඞ් ආසාදිත වූවන්ට පැණිය භාවිතා කිරීම නිසි ක්‍රමවේදයට අනුව භාවිතා කර නොමැති බවටත් හොර පැණියක් ධම්මික පැණිය ලෙස භාවිතා කර ඇති බවටත් වූ කතිකාවක් පවා මේ වන විට ගොඩ නැගෙමින් ඇත්තේය. ඒ අතර ධම්මිකගේ පැණිය භාවිතා කර කොවිඞ් ආසාදනය වූ පුද්ගලයින්ගේ නිවෙස්වල සාමාජිකයන්ට විවිධ බලපෑම් එල්ලවීමට පටන්ගෙන ඇති බවද කියති. පැණිය භාවිතා කර ආසාදිත වූ අයට පැණිය භාවිතා නොකළ බව කියන ලෙසට ඒ අතර තදබල ලෙස බලපෑම් එල්ලවන බවද සදහන්ය.

ලක්ෂ 30 කතාව බොරුවක්ද?

ධම්මිකගේ පැණිය භාවිතා කළ අයගෙන් කොවිඞ් 19 වෛරසය ආසාදිත වී ඇතැයි මේ වන විට හෙළිවී ඇත්තේ අතලොස්සක් දෙනෙකුට පමණි. ධම්මික විසින් පවසා ඇති ආකාරයට ඔහු අපේ රටේ මිලියන තුනක ජනතාවකට මේ වන විටත් පැණිය ලබාදී තිබේ. මිලියන 03ක් යනු සුළු පටු පිරිසක් නොව ලක්ෂ 30කි. ඒ තුළින් කියා පාන්නේ අපේ රටේ කෝටි දෙකක ජනතාවගෙන් ලක්ෂ 30කටම ධම්මිකගේ පැණිය ලැබී ඇති බවකි. ඊට අනුව අපේ රටේ ජනගහනයෙන් සියයට 15 කටම කොවිඞ් පැණිය ලැබී හමාරය. ඒ පැණි බීම බෝතල් ගැනීමට ඇති පරිද්දෙන් වෙළෙඳ සැල්වල ධම්මිකගේ පැණිය අලෙවියට තබා තිබෙන නිසා වන්නට ඇත. ධම්මිකගේ පැණියේ ගණන් මිමි වල බොරුව සහ ඇත්ත එළියට එන්නේ මෙසේ විද්‍යාත්මක අංකනයකට ලක්කිරීම තුළින් බව ඒ අනුව පැහැදිලිය. ධම්මික බොරුකාරයෙක් බව හෝ ඔහු කොවිඞ් 19 වෛරසයට ඖෂධයත් දේශිය වශයෙන් සොයාගත් වීරයෙක් බව කියන්නට තවමත් කල් වැඩිය. ඒ ඔහු විසින් නිෂ්පාදනය කළ ඖෂධය තවමත් පරීක්ෂණ මට්ටමේ ඇති බැවිනි. මෙතෙක් කර ඇති පරීක්ෂාවලින් ඔහුගේ පැණිය සමත්වී ඇතිමුත් තවමත් එය කොවිඞ් 19 වෛරස ආසාදිත රෝගීන්ට ලබාදෙන ඖෂධයක් ලෙස පිළිගැනීමකට ලක්ව නැත. කොවිඞ් ආසාදනය නොවන්නේ සැබෑ ලෙසම ධම්මික පැණියේ බලපෑම නිසාද නැති නම් ඔහුගේ සිරුරේ ඇති ප්‍රතිශත්තීකරණ ශක්තිය හේතුවෙන්දැයි තහවුරු වීමක් මෙතෙක් විද්‍යාත්මකව සිදුවී නැත.

බෝතල් භාගෙ ගත්තේ රුපියල් 7500කට!

විශේෂ කාර්යාංශයේ නිලධාරියා සහ ධම්මික පැණිය අතර එක් කතාවක් එසේ දිග හැරෙන විට කොළඹට නුදුර නගරාසන්න ප්‍රෙද්ශයක ජීවත්වන තරුණ ව්‍යාපාරික පවුලකටම කොවිඞ් 19 වෛරසය ආසාදනය වන්නේ ධම්මික පැණිය මුළු පවුලම භාවිතා කර තිබිදීය. එම තරුණ ව්‍යාපාරිකයාට ධම්මික පැණියෙන් බෝතල් භාගයක් ලැබෙන්නේ රුපියල් 7500ක මුදලකටය. සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයින් ඉතා කිට්ටුවෙන් ඇසුරුකරන මෙම තරුණ ව්‍යාපාරිකයාට මෙම පැණි බෝතලය ලැබී තිබුණේද හරිම තැනෙනි. ඒ මෙයට සති කිහිපයකට පෙරය. පැණි බෝතලය හරිම තැනෙන් ලැබුණේ යැයි සටහනක් තබන්නට සිදුවන්නේ දැන් කෑගල්ල පැත්තේ ව්‍යාජ ලෙස ධම්මික පැණිය විවිධ පුද්ගලයින් සකස්කර අලෙවි කරමින් පවතින බැවිනි. මේ වන විට පැණි අලෙවිය කළුකඩ වෙළදාමක් බවට පත්ව ඇත්තේ කොයි කාගේත් මඩිය තර කරමිනි. මේ කියන තරුණ ව්‍යාපාරිකයා නිසි උපදෙස් පිළිපදිමින් ධම්මික පැණිය භාවිතා කළේ කොවිඞ් 19 වෛරසයට එතෙක් කලක් පැවැති බිය පසෙක තබාය. අනතුරුව ඔහු කොවිඞ් 19 වෛරස ව්‍යාප්තියට පෙර පැවැති සෙල්ලක්කාර ජීවිතය ගත කරන්නට ගත්තේ දැන් තමාට කොවිඞ් වැලදෙන්නේ නැතැයි පූර්ව විශ්වාසයක්ද ඇතිවය. එහෙත් තමාට වැඩ වරදී ඇතැයි ඔහුටද පසක් වන්නේ සිය බිරිඳගේ අසනීප තත්වයකට ප්‍රතිකාර ගැනීමට රෝහලකට ගිය ඔවුන්ව ඇන්ටිජන් පරීක්ෂාවකට ලක්කිරීමත් සමගිනි. දැන් ඒ අඹුසැමි යුවල ධම්මික පැණියේ අනුභාවයෙන් කොවිඞ් ආසාදිතයන් බවට පත්ව රෝහල්ගතව සිටින්නේ ධම්මකගේ මව්තුමියව උදේ හවා සිහිපත් කරමිනි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *