රනිල් – සජිත් රහස් හමුවක්..! දේශපාලන පෙරලියක්..!

මේ ආකාරයේ එක් පෙරළිකාර හමුවීමක් පසුගිය සතියේ ඉතා රහසිගත ආකාරයට කොළඹදී සිදුවිය. එහිදී සිදුවූයේ විපක්ෂයේ පමණක් නොව ආණ්ඩුවද නියෝජනය කරන ප්‍රධාන පෙළේ පක්ෂවල නායකයන් එක් ස්ථානයකදී ඉතා රහසිගතව මුණගැසී දේශපාලන සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමය. දොරවල් වසාගෙන ඉතා රහසිගතව පැවැති මෙම සාකච්ඡාව සංවිධාන කිරීමට මූලිකත්වය ගෙන තිබුණේ වෙන කවුරුවත් නොව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලන ක්ෂේත්‍රයේ යම් පිළිගැනීමක් තිබෙන දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන එම්.ඒ. සුමන්තිරන්ය. මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ සන්ධාන කැඩෙන ආකාරය පිළිබඳ ප්‍රවෘත්තිත්, විවිධ සන්ධාන අලුතින් බිහිවන ආකාරයේ ප්‍රවෘත්තිත් නිරතුරුවම පළවෙමින් පවතින නිසා සුමන්තිරන් කැඳවූ මෙම රහස් සාකච්ඡාවද එක්තරා ආකාරයක අලුත් සන්ධායක් ගොඩනැගීමේ පෙරනිමිත්තක් වූ බව පැහැදිලිව දැකගන්නට තිබිණි.

රනිල් සජිත් රහස් සාකච්ඡාවක..!

මෙම තීරණාත්මක සාකච්ඡාවට පෙර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැයක පමණ රහස් හමුවක් එම හෝටලයේදීම වෙනත් ශාලාවක පැවති අතර අනතුරුව සියළුදෙනාටම දැකගත හැකි වූ අනෙකුත් විශේෂම සිදුවීම වූයේ බොහෝ කලකට පසු සජිත් – රනිල් මුහුණට මුහුණ මෙහිදී හමුව තිබීමය. මෑත කාලයේදී මේ දෙදෙනා කිසිදු සාකච්ඡාවකදී මුහුණට මුහුණ හමුවී නොතිබුණු අතර, කලකට පසුව දෙදෙනා එක්ව සිටීම හේතුවෙන් සාකච්ඡාවේ සිටි ඇතැමුන්ද ඔවුන් දෙස බලමින් යම් යම් ප්‍රකාශ නිකුත් කරන ආකාරයක් දැකගත හැකි විය.

වැටෙන ආර්ථිකය ගොඩගන්න යෝජනා!

සුමන්තිරන් කැඳවූ මෙම රහසිගත සාකච්ඡාවේ අරමුණ ලෙස දැකගන්නට ලැබුණේ මේ වන විට කඩාවැටෙමින් පවතින රටේ ආර්ථිකය යළි ගොඩගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සියල්ල අතරේ යම් එකඟතාවක් ගොඩනගාගැනීමය. වගකිව යුතු විපක්ෂයක් වශයෙන් මෙම ආර්ථික අර්බුදයට මුහුණදී රට ගොඩගන්නා වැඩපිළිවෙළක් සකස් කළ හැකි ආකාරය සොයාබැලීමද මෙම හමුවේ තවත් අරමුණක් විය. ඒ අනුව ආර්ථික අර්බුදය විසඳීම අරමුණු කරගෙන සුමන්තිරන් විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයන් එක තැනකට ගෙන ඒම සඳහා පසුගිය සති කිහිපය පුරාම ඔවුන් සමග වෙනවෙනම සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීය. එසේ සාකච්ඡා කොට ඔවුන්ගෙන් කොළ එළියක් පත්තු වීමෙන් පසු සුමන්තිරන් ඒ සියලු දෙනා එක මේසයකට ගන්නා වැඩේට බය නැතුව අතගැසුවේය. එසේ අතගැසූ සුමන්තිරන් කිසිදු බියකින් තොරව ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට පවා ඊට ආරාධනා කිරීමට පියවර ගත්තේය.

සියල්ලන්ම ආරාධනාව පිළිගනියි!

ඒ අනුව ආණ්ඩුවේ දේශපාලන පක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, වමේ පක්ෂ වන සමසමාජ පක්ෂයටත්, කොමියුනිස්ට් පක්ෂයටත් මෙම හමුවට සහභාගි වන ලෙස සුමන්තිරන් ආරාධනා කළේය. ඊට අමතරව විපක්ෂයේ දේශපාලන පක්ෂ වන සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසටත්, එජාපයේ රනිල් වික්‍රමසිංහටත්, ජවිපෙ අනුර කුමාර දිසානායකටත්, මුසිල්ම් කොංග්‍රසයේ රවුෆ් හකීම්ටත්, රිෂාඩ් බදුර්දීන්ටත්, මනෝ ගනේෂන්ටත්, පලනි දිගම්බරම්ටත්, උතුරේ පක්ෂ නායකයන් වන ගජේන්ද්‍ර පොන්නම්බලම්ටත්, සී.වී. විග්නේෂ්වරන්ටත් ආරාධනා කිරීමට පියවර ගත්තේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සුමන්තිරන් විසින් මෙසේ කතාකරනු ලැබූ සියලුම පක්ෂ නායකයන් ඔහුගේ මෙම ආරාධනාව පිළිගෙන ඊට සහභාගි වන බව තහවුරු කොට තිබීමය.

සිනමන් ගූඩීස් ශාලාවේ දොරවල් වහයි!

ඒ අනුව සාකච්ඡාව පවත්වන ස්ථානය ලෙස සුමන්තිරන් තෝරා ගත්තේ සිනමන් ලේක් හෝටලයේ ‘ගූඩීස්’ ශාලාවය. ඉතා රහසිගතව මෙම රැස්වීම පැවැත්විය යුතු නිසා කිසිදු මාධ්‍යයකට මෙම තොරතුර වාර්තා නොවීමට තරම් මෙහිදී සුමන්තිරන් පරෙස්සම්සහගතව කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව පළමු වටයේදී නිල වශයෙන් තමන් සාකච්ඡා කළ සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කිරීමට සුමන්තිරන් පියවර ගත්තේය. ඉන් අනතුරුව සාකච්ඡා සඳහා සහභාගි වන කථික ලැයිස්තුව සහ ඔවුන්ගේ පසුබිම දැනුම් දෙමින් තවත් ලිපියක් යොමුකිරීමටද සුමන්තිරන් කටයුතු කළේය. එමෙන්ම මෙම ආරාධිත දේශකයන් සිය දේශන පැවැත්වීමෙන් අනතුරුව ප්‍රශ්න වටයක් පැවැත්වෙන බවත්, එහිදී සිය පක්ෂවල අදහස් යෝජනා සහ ස්ථාවරයන් ඉදිරිපත් කළ හැකි බවත් මෙහිදී සුමන්තිරන් සිය ලිපිය මගින් දැනුම්දී තිබිණි. පසුව මෙම සාකච්ඡාවට සහභාගි වන නියෝජිතයන් සම්බන්ධයෙන් පසුවිපරමක යෙදීමටද ඔහු කටයුතු කළේය.

සජිත්ගෙන් තවත් යෝජනාවක්!

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඇමතීමෙන් පසු සජිත් සුමන්තිරන්ට දැනුම් දුන්නේ තම පක්ෂයේ ආර්ථික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සැලසුම් සකස් කරන්නේ ආර්ථික විශේෂඥයන් වශයෙන් සැලකෙන ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් සහ හර්ෂ ද සිල්වා බැවින් ඔවුන් ද කැටුව තමන් මෙම සාකච්ඡාවට සහභාගි වන බවකි. ඊට සුමන්තිරන්ගේද එකඟතාව පළවිය.

අනුර හරිනිව එවන්න පොරොන්දු වෙයි!

ආණ්ඩුවේ නියෝජිතයන් වන මෛත්‍රිපාල සිරිසේනට හා තිස්ස විතාරණට ඇමතුම් ලබාදීමෙන් පසු ඔවුන්ද සාකච්ඡාව සඳහා තම සහභාගිත්වය ස්ථිර කිරීමට කටයුතු කර තිබිණි. අනුර කුමාරට කතා කළ අවස්ථාවේදී අනුර, සුමන්තිරන්ට කියා සිටියේ මේ දිනවල රැස්වීම් හේතුවෙන් පක්ෂයේ සියලු සාමාජිකයන් කාර්යබහුල වී ඇති නිසා සිය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන කථිකාචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊට සහභාගි වනවා යැයි කියාය. කෙසේ වෙතත් රැස්වීම පැවැත්වෙන දින පෙරවරුවේ සුමන්තිරන්ට කතා කළ හරිනි කියා සිටියේ තමන් කොවිඩ් ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු වී ඇති බැවින් රැස්වීමට සහභාගි විය නොහැකි නමුත්, අන්තර්ජාලය ඔස්සේ සජීවීව ඊට සහභාගි වීමට කටයුතු කරන බවකි.

මෛත්‍රී එන්න ඇවිත් මගින්ම හැරෙයි! ආණ්ඩුවේ තිස්ස එයි!

ඒ අනුව සාකච්ඡාව පැවැති දින එය ආරම්භ වීමට මිනිත්තු කිහිපයක් තබා සියලු දෙනාම ශාලාවට එක්ව සිටි අතර මෛත්‍රිපාලගේ පැමිණීම තහවුරු කරමින් ඔහුගේ ආරක්ෂකයන් පවා පැමිණ සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. නමුත් සාකච්ඡාව පටන්ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී මෛත්‍රිපාලගේ ආරක්ෂකයන් එම ස්ථානයෙන් ඉවත් වනු දැකගන්නට ලැබුණු අතර ඒ සමගම සුමන්තිරන්ගේ දුරකතනයට මෛත්‍රිපාලගෙන් ඇමතුමක් ලැබෙනු දැකගත හැකි විය. එම ඇමතුමෙන් මෛත්‍රී, සුමන්තිරන්ට කියා සිටියේ තමන් හදිසියේම අසනීපව සිටින බැවින් එම නිසා රැස්වීමට සහභාගි විය නොහැකි නමුත් ඊළඟ සාකච්ඡාවට අනිවාර්යයෙන්ම සහභාගි වීමට පියවර ගන්නවා යැයි කියාය. ආණ්ඩුව නියෝජනය කරන මෛත්‍රිපාල අවසන් මොහොතේ සාකච්ඡාවට සහභාගි නොවුණත් ආණ්ඩුව නියෝජනය කරන තිස්ස විතාරණ කල් තියාම ඊට සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය.

ඔක්කොම ප්‍රශ්න කියයි! හරින් ඔන්ලයින් එයි!

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී මේ වන විට රටේ ආර්ථිකය වැටී ඇති බරපතළ තත්ත්වය, ඒ හරහා ජනතාවට ඉදිරියේදී මුහුණ දීමට සිදුවිය හැකි අහිතකර පලවිපාක ආදිය මෙන්ම මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රටක් වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ආරාධිත දේශකයන් විසින් විග්‍රහ කරන ආකාරයක් දැකගන්නට ලැබිණි. ඉන් අනතුරුව ප්‍රධාන විපක්ෂය නියෝජනය කරමින් සජිතුත්, කබීරුත්, ඉරානුත් ආර්ථිකය සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය පෙන්වා දීමට පියවර ගත්හ. ඉන් අනතුරුව දෙමළ මුස්ලිම් පක්ෂ නියෝජිතයනුත්, සජීවීව අන්තර්ජාලය ඔස්සේ එක්ව සිටි හරිනිත් සිය අදහස් සහ ස්ථාවරයන් ඉදිරිපත් කිරීමට පියවර ගත්හ.

දෙවැනි පියවර 10 වැනිදා!

ඒ අනුව මෙම සාකච්ඡාව බොහෝ දෙනකු එළිපිට කතා නොකළත් විපක්ෂයේ දේශපාලන පක්ෂ එකමුතු කිරීමේ දේශපාලන පෙරළියක ආරම්භයක් බව බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ. එමෙන්ම මෙම හමුව එක් සාකච්ඡාවකින් නොනැවැත්වීමටද මේ වන විට සියලු පක්ෂ අතර එකඟතාවක් ඇතිව තිබේ. ඒ අනුව එහි දෙවැනි අදියර ලබන 10 වැනිදා මීටත් වඩා පුළුල් ආකාරයකට සියලු පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් යුතුව පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

ජාත්‍යන්තරයත් එක්ක ගහන ගේමක්ද?

ඒ අනුව මෙම සිදුවීම දෙස බලන විට පෙනී යන කාරණයක් වන්නේ රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය විසඳාලීම සඳහා ජාත්‍යන්තරයද පිළිගන්නා ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කිරීමට විපක්ෂය සැලසුම් කරමින් සිටින ආකාරයකි. සාමාන්‍යයෙන් රටක් ආර්ථිකමය වශයෙන් කඩාවැටෙද්දී ජාත්‍යන්තරය එම ආණ්ඩුවට උදව් කිරීමට මැළිවන්නේ නම් විපක්ෂය ඒ සඳහා ඉදිරිපත් වී පොදු වැඩපිළිවෙළක් සකස් කොට ජාත්‍යන්තරයෙන් උදව් උපකාර ලබාගෙන රට ගොඩනැගීමේ උදාහරණ බොහෝ ඇති නිසා මෙවර විපක්ෂය සූදානම් වන්නේ එම මෙහෙයුමට දැයි කීමට දැන්ම කල් වැඩිය. කෙසේ වෙතත් නුදුරේදීම මහා දේශපාලන විපර්යාසයක පෙරනිමිති මේ හරහා පහළ වෙමින් පවතින ආකාරයක් නම් පැහැදිලිවම දැකගන්නට පුළුවන.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *