පේරාදෙණිය සරසවියේ සිසු චන්ඩින්ට එරෙහිව ආචාර්යවරුත් එළි බහියි.

සෑම විශ්වවිද්‍යාල සිසුවෙකුටම නිදහසේ අධ්‍යාපනය හැදෑරීමට ඇති අයිතිය තහවුරු කරන්නැයි ඉල්ලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සියලු ආචාර්යවරු අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සිටී.

ඒ පසුගියදා එම සරසවියේ ආපනශාලාවක් තුළ සිදුවූ නවකවධ සිදුවීමට විරෝධය පළකරමිනි.

නවකවධය සම්බන්ධයෙන් පේරාදෙණිය සරසවියේ පසුගිය 14 වැනිදා සිදුවූ සිදුවීමක් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කළේය.

සමාජ මාධ්‍යවල සංසරණය වූ දර්ශන කිහිපයක දැක්වුණේ එම සරසවියේ “ගෙම්බා” නම් ආපන ශාලාව තුළ ආහාර ගනිමින් සිටි සිසු සිසුවියන් පිරිසකට එතැනට පැමිණි තවත් පිරිසක් පහර දෙන ආකාරයයි.

ශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපනය ලබන, නවකවධයට පක්ෂපාතී සිසුන් පිරිසක් නීති අධ්‍යයන අංශයේ සිසුන් පිරිසකට මෙලෙස පහර දී තිබූ බව වාර්තා වූයේය.

එම සිද්ධියෙන් පසු ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය සහ නීති අධ්‍යයන අංශයේ ශිෂ්‍ය කණ්ඩායම සමග පීඨාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබුණේ ගැටලුවට නිශ්චිත විසඳුමක් සොයා ගැනීම සඳහාය.

නමුත් සාකච්ඡාව අවසන් වී පැය 2ක් ගෙවෙන්නටත් පෙර ගෙම්බා ආපනශාලාව තුළදීම නීති අධ්‍යයන අංශයේ සිසු සිසුවියන්ට යළි පහරදීමක් සිදුව තිබුණි.

ඒ අනුව මෙම පහරදීමට සම්බන්ධ ශාස්ත්‍ර පීඨයේ සිසුන් තිදෙනෙකුගේ පන්ති සති 2කට තහනම් කිරීමට සිය බලතල ප්‍රකාරව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා පියවර ගෙන තිබුණි.

විශ්වවිද්‍යාලය තුළ නවකවධය ක්‍රියාත්මක කරන සිසුන්ගේ තවත් ක්‍රියාකාරකම් පිළිබඳ පීඨාධිපතිවරයා මෙලෙස හෙළි කළේය.

“මේක ක්‍රියාත්මක වෙන අතරුතුර ශිෂ්‍ය සංගම් එකතුවෙලා මට විරුද්ධව පෝස්ටර් ගහලා. ඊට පස්සේ තර්ජනය කරනවා ගෝඨභය ගෙදර යවපු අපිට පීඨාධිපති කජ්ජක්ද ඇහුවා.. මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මට මූණටම කිව්වා.”

මේ අතර ශාස්ත්‍ර පීඨයේ සියලු ආචාර්යවරු පසුගිය 21 වැනිදා සියලු ඉගැන්නුම් කටයුතුවලින් ඉවත්වූයේ සෑම සිසුවෙකුටම නිදහසේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දෙන මෙන් ඉල්ලමිනි.

තවමත් ඔවුන් සිය රාජකාරිවලින් ඉවත්ව සිටින අතර එදින සිට මේ දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය තාවකාලිකව වසා දමා තිබේ.

මෙවැනි පසුබිමක පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ පැවති සිසු උද්ඝෝෂණයකදී පරුෂ වචනවලින් බැණවදිමින් සනාතන මන්දිරයේ රාජකාරි කටයුතුවලට බාධා කළ සිසුවෙකුගේ ශිෂ්‍යභාවය තහනම් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා පියවර ගෙන තිබේ.

මෙලෙස ශිෂ්‍යභාවය තහනම් කෙරුණේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාගේ වන අතර ඔහුට විශ්වවිද්‍යාල භූමියෙන් වහාම පිටවන්නැයිද දැනුම් දී ඇති බව උපකුලපතිවරයාගේ අස්සනින් යුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙහි දැක්වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *