ඇවිත් මාස තුනයි රනිල් මොනවද කළේ…?

බිංදුවට වැටුණු ආර්ථිකයක්
ඉමක් නැති පෝලිම්
දුක් සුසුම් අරගල සටන් මැද
ගිනිගත් දේශයක්
අවිනිශ්චිත අනාගතයක්
කිසිවකු භාර නොගත් අභියෝගයක්
නිමක් නැති ගැරහුම් මැද
ඔහු එය බාරගෙන තෙමසක්…

හේ රනිල් වික්‍රමසිංහ නම් විය. මීට ඉහත අවස්ථා හයක දී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති වික්‍රමසිංහයන් 2022 වර්ෂයේ ජූලි මස 21 වන දින ශ්‍රී ලංකාවේ අටවෙනි විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. ඒ අදූරදර්ශී පාලකයන්ගේ තීන්දු තීරණ මත නිර්මාණය වූ ආර්ථික පීඩනය දරාගත නොහැකි ජීවන බරකින් මුළු රටම ඇළලී ගිය ජන සටන් උද්ඝෝෂණ අරගල හමුවේ මුදල් ඇමති බැසිල්, අගමැති මහින්ද පමණක් නොව හත්වන විධායක ජනාධිපති ගෝඨාභය ද සිය ධූරයන් අතහැර පළායාමෙන් රටම අරාජික හිස් තැනක් බවට පත් විය.

එවන් පසුබිමක පක්ෂ සහ විපක්ෂ සියලු‍ දේශපාලන නායකයන් රට භාරගැනීමේ අභියෝගය හිතාමතා මගහැර සිටි මොහොතක, සියලු‍ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් අතිශය ව්‍යාකූල වූ අභියෝගාත්මක රටේ ඉරණම භාර ගැනීමට රනිල් වික්‍රමසිංහයන් ඉදිරිපත් විය.

“මිනිසෙකුගේ අවසාන මිනුම වන්නේ ඔහු සුවපහසුව සහ පහසුව ඇති අවස්ථාවන්හිදී නොව,
අභියෝග සහ මතභේදාත්මක අවස්ථාවන්හිදී ඔහු සිටගෙන සිටින ස්ථානයයි.”
– මාටින් ලූතර් කිං


කිසිවකු අභියෝග භාරගත් පමණික් කිසිදු ගැටලු‍වක් නිරාකරණය වන්නෙ නැත. එකී අභියෝග මොහොත පියමං කිරීමට ඔහු හෝ ඇය සතුව තීක්ෂණ ඥානයක් සේම ඉදිරිය පිළිබඳ මනා දැක්මක් තිබිය යුතුය. රනිල් වික්‍රමසිංහ අභියෝගාත්මක ජනාධිපති ධූරයභාරගෙන අදට මාස තුනක් ඉක්ම ගොසිනි.

ගෙවුණු තෙමස තුළ තමන් භාරගත් අභියෝගය ජයගැනීම වෙනුවෙන් කළ කී දෑ කෙතරම් සාර්ථක ද අසාර්ථක ද යන්න තීන්දු කිරීමට හදිසි විය යුතු නැත. නමුත් ආර්ථික පීඩාව සමහන් කිරීම, ජනතා උන්නතිය ගොඩනැගීම, ජීවන තත්ත්වය උසස් කිරීම වූ එකී අභියෝගය නිවැරදිව දිශාගත කිරීම වෙනුවෙන් වික්‍රමසිංහයන්ගේ නායකත්වයෙන් ගනුලැබූ තීන්දු තීරණ හා ක්‍රියාකාරකම් කවරේදැයි විමසා බැලීම වටී.

අගමැතිධුරයෙහි සිටියදී මෙන්ම ජනපති ධූරය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වූයේ අර්බුදයට ගිය රට ගොඩනැගීමේ කාර්යය සිදුකළ හැක්කේ, සර්ව පාක්ෂික ආණ්ඩුවක් හරහා බවය. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා අවස්ථා ගණනාවක දී සියලු‍ දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ආරාධනා කළා පමණක් නොව සෑම දේශපාලන පක්ෂ සහ නියෝජිතයන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමට ද කටයුතු කළේය.

නමුත් විපක්ෂය මගහැරි අභියෝගයෙන් රනිල් වික්‍රමසිංහයන් පළා ගියේ නැත. තමන්ගේ ශක්තිය, දැනුම හා ජාත්‍යන්තර සම්බන්ධතා සියල්ල යුහුසුළුව සක්‍රීය කරමින් තමන්ගේ වූ වැඩපිළිවෙළක් දියත් කරන්නට විය. ඒ අනුව මූලින්ම ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනිමේ සිව් වැදෑරුම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින් වැඩ ආරම්භ කළේය.

එසේ පළමු පියවර තබා ගෙවුණු මාස තුනක කාලය තුළ ජනපති නායකත්වයෙන් රටතුළ ඉටු කළ සහ ඉටු කිරීමට පියවර ගෙන ඇති කාර්යයන් මූලික සාධක කිහිපයක් යටතේ හඳුනාගත හැක.

ඒ මූල්‍ය අර්බුදය හා ණය, තෙල්, ගෑස් සහ විදුලි අර්බුදය, කෘෂිකාර්මික ගොවි ගැටලු‍ව, දේශපාලන කඩාවැටීම, දේශගුණික විපර්යාසයන්ට රට සූදානම් කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය, ආහාර හිඟය සහ සමාජ සුබසාධනය, මානව හිමිකම් සුරක්ෂිත කිරීම ආදී මූලික ක්ෂේත්‍ර යටතේය.


මූල්‍ය අර්බුදය හා ණය

■ 2022 වර්ෂයේ ඉදිරි කාලය සඳහා අන්තර්කාලීන අයවැය ඉදිරිපත් කිරීම අයාලේ ගිය ආර්ථිකය නැවත හරි මගට ගැනීමට කඩිනම් පියවර ගැනීම

■ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුලු‍ ජාත්‍යන්තර සංවිධාන ගණනාවක සහ රාජ්‍යයන් ගණනාවක අර්ථික සහයෝගය ලබා ගැනීම

■ ශ්‍රී ලාංකීය විදේශගත වෘත්තිකයින් එවනු ලබන ප්‍රේෂණ බැංකු පද්ධතිය හරහා ලංකාවට එවීම සඳහා දිරිමත් කිරීමට පියවර ගැනීම

■ විදේශ ආයෝජන වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම (ජපාන සහ සිංගප්පූරු)

■ විදේශ විනිමය ගලා ඒම ඉහළ නැංවීම උදෙසා විදේශ විනිමය රෙගුලාසි ලිහිල් කිරීම

■ මෙරට ආර්ථික අර්බුදය විසඳීමේ පියවරක් ලෙස විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනිමට අවශ්‍ය මූලික පියවර දැනටමත් ගෙන ඇත.

■ බදු ක්‍රමය සරල කිරීම හරහා ජනතාව වෙත එල්ල වී ඇති පීඩනය අවම කිරීමට පියවර ගැනීම (සෘජු බදු ප්‍රතිශතය වැඩි කිරීමට පියවර ගැනීම)


වියදම් කප්පාදුව

■ ජනපති වැටුප් ගැනීමෙන් වැළකී සිටිනවා සේම සිය කාර්යය මණ්ඩල සාමාජිකයන්ගේ වැටුප්, අතිකාල හා දිරි දීමනා, ප්‍රවාහන ආදී සියල්ල 50%කට ආසන්න ප්‍රමාණයකින් අඩුකර කැපකිරීම් සහිත පිරිසක් සමග සිය ගමන ආරම්භ කිරීමට පියවර ගැනීම.

■ පළාත් සභා ක්‍රියාත්මක නොවන පසුබිම තුළ පළාත් පරිපාලන හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම මෙන්ම පළාත් සභාවේ අසීමිත වියදම් කළමනාකරණය කිරීමේ වගකීම ආණ්ඩුකාරවරුන් වෙත පැවරීමට කටයුතු කිරීම.

■ රාජ්‍ය වියදම් පාලනය කිරීමේ වගකීම සියලු‍ රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත පැවරීමට කටයුතු කරමින් අතිශය අසීරු මූල්‍ය අර්බුදය ජයගැනීම වෙනුවෙන් කටයුතු කිරීමේ ආදර්ශයන් පෙන්වා දීමට කටයුතු කිරීම.


තෙල්, ගෑස් සහ විදුලි අර්බුදය

■ ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම තුරන් කර, මිල පහත දමා අඛණ්ඩ ගෑස් සැපයුමකට පියවර ගැනීම

■ ගෑස්, ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ආශ්‍රිතව පැවති පෝලීම් යුගය අවසන් කිරීම

■ පැය 12ක් දක්වා දීර්ඝවීමට තිබූ විදුලි කප්පාදුව කළමනාකරණය කිරීම.

■ රටේ අපනයන ආදායම සහ විදේශ ප්‍රේෂණයන්ට සරිලන පරිදි ඉන්ධන ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීම

කෘෂිකාර්මික ගොවි ගැටලු‍ව

■ පොහොර හිගය විසඳා, මිල අඩු කර ප්‍රමාණවත් අඛණ්ඩ සැපයුමකට කටයුතු යෙදිම. ඒ වෙනුවෙන් පසුගිය මහ කන්නයට අවශ්‍ය පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ගොවි ජනතාවට ලබා දීමට පියවර ගත් අතර නිසි අයුරින් පොහොර ගොවි ජනතාව වෙත ලබාදීමට අදාළ නිලධාරීන්ට වගකීම් පැවරීම.

■ වාණිජ කාෂිකර්මාන්තයට අවශ්‍ය ග්ලියිපොසෙට් ඇතුළු කෘෂි රසායන තහනම ඉවත් කිරීම.

■ වගාවන් සඳහා අවශ්‍ය බීජ සහ කෘෂි උපකරණ හිඟයකින් තොරව ලබාදීමට පියවර ගැනිම.

■ පොහොර සහනාධාරය ලබා දීම.

■ වගා කළ හැකි සියලු‍ ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතාව තහවුරු කිරීමේ අභියෝගයට සියලු‍ ගොවි ජනතාවට ආරාධනා කිරීම.

දේශපාලන කඩාවැටීම

■ සෑම රටක් සමඟම සුහද හා මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම

■ අරගලයට මුවා වී ප්‍රචණ්ඩත්වය පතුරවමින් රට අරාජික කළ පාර්ශ්ව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමට පියවර ගැනීම

■ දේශපාලන පක්ෂ නායකයන්ගෙන් සමන්විත ජාතික සභාවක් පිහිටුවීම

■ විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සමග සමීපව කටයුතු කරමින්, ශ්‍රී ලංකාව යළි නගාසිටුවීමේ වැඩපිළිවෙළට ඔවුන්ගේ සහාය ලබා ගැනීම සහ ඩයස්පෝරා කාර්යාලය ස්ථාපිත කිරීම

■ මාර්ගගත සේවා පහසුකම් පුළුල් කරමින් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් මහජනතාව ලබාදිමට කටයුතු කිරීම

■ රාජ්‍ය ආයතන වෙත මහජනතාව යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම්වලට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම

■ “ජන සභා” පිහිටුවීමට අදාළ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීම.

කර්මාන්ත ක්ෂේත්‍රය

■ කර්මාන්ත හා අපනයන අංශයන්ට එල්ල වී ඇති බාධාවන් ඉවත් කිරීම.

■ ආනයනික සීමා කර කර්මාන්ත සඳහා වන අමුද්‍රව්‍ය හිඟය අවම කිරීම. අපනයන ආර්ථිකය දිරි ගැන්වීම වෙනුවෙන් අවශ්‍ය සෑම පියවරක්ම ගැනීම වෙනුවෙන් අදාළ ක්ෂේත්‍ර නිලධාරීන්ට පවරා ඇත.

■ එසේම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වී ඇත්නම් එම චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබාදීම ද කර්මාන්ත ක්ෂේත්‍ර යේ උන්නතිය වෙනුවෙන් ගනු ලැබී තවත් එක් වැදගත් තීන්දුවකි.

■ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට පියවර ගැනීම. මේ යටතේ සංචාරක කර්මාන්තය දිරිගැන්වීමේ අරමුණින් සංචාරකයෙකුට මෙරටට පැමිණි දින සිට දින 270ක වලංගු සංචාරක වීසා ලබාදීමේ කාලය වසරක් දක්වා දිර්ඝ කිරීමටත්, විසා සඳහා ගාස්තු අය කරන ක්‍රමවේදය සරල කිරීමටත් පියවර ගැනීම.

■ කඳුකර දමිල ජනතාවගේ ගැටළු විසඳීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

■ ධීවර කර්මාන්තයේ ප්‍රවර්ධනයට පියවර ගැනීම

■ පර්යේෂණ හා සංවර්ධන අංශ වැඩිදියුණු කිරීමට පියවර

අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය

■ සමාජ අර්බුදයන් හමුවේ අක්‍රීයව තිබූ පාසල් පද්ධතිය නැවත සක්‍රීය කිරීමට පියවර ගැනීම සහ සියලු‍ සිසුන්ට පාසල් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පියවර ගැනීම.

■ පාසල් සිසුන් මිලියනකට පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් ලබාදිමට පියවර ගැනීම

■ විදෙස් ශිෂ්‍යත්ව හරහා විදේශ අධ්‍යාපන අවස්ථා ද දිරිමත් කිරීමට සැලසුම් සකස් කිරීම.

■ විදෙස් සිසුන් සඳහා මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ගොඩනැගීමට අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීම.

ආහාර හිඟය සහ සමාජ සුබසාධනය

■ ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ මල්ල නැවත ලබා දීම.

■ ආහාර හිගයක් ඇති නොවීම සඳහා ආහාර සුරක්ෂිතතා ජාතික වැඩසටහන දියත් කිරීම.

■ ශ්‍රී ලංකාවේ ආහාර හා පෝෂණ සුරක්ෂිතාව තහවුර කිරීමට ජාතික සැලැස්මක් සැකසීමට පියවර ගැනීම.

■ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල අඩු කිරීමට පියවර ගැනීම.

■ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මිල සීමා පැනවීම.

■ සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන ශක්තිමත් කිරිම සඳහා වූ ප්‍රතිපාදන වෙන් කිරීම.

■ ආර්ථිකය ස්ථාවර කිරීමේ අරමුණින් යුතුව, ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 31කට සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩපිළිවෙළ, “කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා” යන තේමාව යටතේ රටේ සියලු‍ම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම.

මානව හිමිකම් සුරක්ෂිත කිරීම

■ ප්‍රචණ්ඩකාරීත්වයට තිත තබා සාමකාමී අරගල කරුවන් ආරක්ෂා කිරීමට පියවර ගැනීම.

■ ජාති, ආගම්, පක්ෂ, කුල ආදී සියලු‍ භේද තුරන්කර කුසලතාවය හා හැකියාව මත පුද්ගලයෙකුගේ ඉදිරි ගමන තීරණය කිරීමේ පදනම තහවුරු කරලීමට අවශ්‍ය පදනම සැකසීම.

■ ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වා දීමට පියවර ගැනීම.

නිවාස හා ඉඩම්

■ රජයේ බලපත්‍ර ඉඩම්ලාභීන්ට සින්නක්කර ඔප්පු ලබාදීම.

■ රජයේ තට්ටු නිවාසවල ජීවත්වන අයට නිවාස අයිතිය ලබා දීම.

මේ සාරංශගත කරන ලද කෙටි සටහනකි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර ගන්නා මොහොතේ රට තිබූ තත්ත්වය සහ අද තත්ත්වය සැලකීමේ දී මෙරට පුරවැසියාට යම් නිදහස්කාමී බවකින් යුතුව සිය ජීවිත ගතකිරීමට අවැසි පරිසරයක් ගොඩ නැගෙමින් තිබෙන බව ඇස්පනා පිට පෙනෙන්න තිබෙන්නකි.

කෙසේ වෙතත් සමාජ ආර්ථික සහ දේශපාලනිකව ගරා වැටුණු රටක් එක් රැයකින් ප්‍රසස්ථ මට්ටමට ගෙන ආ නොහැකි බව අප දන්නා සත්‍යයකි. නමුත් යම් නිශ්චිත කාල රාමුවක් තුළ නිවැරදි දැක්මක්, වැඩපිළිවෙළක් සහිතව ක්‍රියාත්මක වන්නේ නම් කෙතරම් අසීරු අභියෝගයක් වුවද පහසුවෙන් ජයගත හැකිවනු ඇත. මෙකී නියමය අනුව ගත්විට ගෙවුණු මාස තුනක කාලය තුළ ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති උක්ත කාර්යයන් සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති වැඩසටහන් සැලකීමේ දී මෙරට බිඳවැටුණු සමාජ ආර්ථික දේහය මාරාන්තික බවින් නුදුරේදී මුදවා ගැනීමට හැකි වනු ඇත යන්න විපක්ෂයේ කල්ලි
කණ්ඩායම්වලට කෙසේ වෙතත් මේ රටේ සිහිබුද්ධියක් සහිත ඕනෑම පුරවැසියකු පිළිගන්නා සත්‍යයකි.

– නවන් පතිරත්න
Chatham Street journal
2022/10/23

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *