ජවිපෙ දේශපාලනයේ මසාලා කොත්තු

1965 මැයි මාසයේ 14 වන දින ලංකා දේශපාලනට එකතු වන ජනතා විමුක්ති පෙරමුණ එවක් පටන් ලංකාවේ වාමවාදී නව පන්නයේ පක්ෂයක් ලෙස ස්ථාපිත විය. රෝහණ විජේවීර විසින් චීන කොමියුනිස්ට් පක්ෂයෙන් බීදී ගොස් පිහිටුවන මෙම නව වාම පක්ෂය නිර්ධන පන්තිය සදහා බලය ලබාගැනීමේ අරමුණින් දියත් විය. ක්‍රමයෙන් අධ්‍යාපනික දැනුම් සම්භාරයක් සමග ඉගැන්වීමේ ක්‍රමවේදයන්ගෙන් සමන්විතව ගොඩනැගුණු මෙය පන්ති හා කඳවුරු සාකච්ඡා සම්මන්ත්‍රණවලින් පොහොසත් විය. 1971 වන විට ධනපති පන්තිය විසින් පීඩාවට පත් කළ පීඩිත පන්තිය සදහා වන පාලන තන්ත්‍රයක් අරමුණු කොටගෙන සන්නද්ධ කැරැල්ලක්ද ආරම්භ කොට එමගින් පැවති පාලනයට එරෙහිව පක්ෂය මෙහෙය වනු ලැබීය. ජීවිත 15 000ක් පමණ මෙයින් විනාශ වී ගියේය. අනතුරුවද 80 දශකයෙ අගභාගයේද මෙවැනිම ඉලක්කයක්, සැලසුමක් නොමැති කැරැල්ලක් මගින් ජීවිත 65000ක් පමණ විනාශ විය.

පසුව නැවත දේශපාලනයට පැමිණෙන ඔවුන් සන්නද්ධ ලෙස ලබාගැනිමට නොහැකි වූ බලය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ සෙවීමට අනේකවිධ උත්සාහයන් ගත්තේය. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය තුළින් බලය ලබාගැනීමේ උපක්‍රමය තනි පක්ෂයක් ලෙස කවර ලෙසකින්වත් සාර්ථක නොවන තැන විටෙක පවතින ආණ්ඩු සහ පක්ෂ සමග සන්ධාන ගත විමෙන්ද තවත් විටෙක ගොඩනැගෙන බලයකට පසුපස සිට සහාය දක්වමින්ද ආදී නානා උපක්‍රමයන් භාවිතා කළේය. ජවිපෙ 94 දී එක් ආසනයක් පමණක් ලබන අතර ඉන් අනතුරුව 2000 මහ මැතිවරණයේදී ආසන10ක් දිනාගැනීමට සමත් වේ. 2001 දී එය 16ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් වන ඔවුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස සන්ධානගත වී 2004 වර්ෂයේදී මන්ත්‍රී ආසන 39ක් දිනාගැනීමට සමත් වෙයි. මෙම සන්ධානගත වීමෙන් පසුව සුනාමි සහන මණ්ඩල පනතට එරෙහි වීමෙන් නැවත ආණ්ඩුවෙන් ඉවත් වන ඔවුන් පසුව මහින්ද රාජපක්ෂ බලයට පමුණුවාලීම සදහා 2005 දි විශාල වැඩ කොටසක් ඉටු කරයි. මෙසේ දිගින් දිගටම සන්ධාන හා හවුල් ආණ්ඩු කරමින් රිමෝට් කොන්ට්‍රෝල් බලයක් ලෙස එම බලය අර්ථ කථනය කරගන්නා ඔවුන් පහල සාමාජිකයාට මෙය නව දේශපාලන උපක්‍රමයක් ලෙස හුවා දන්වමින් ධනපති ආණ්ඩු සමග එක් වුවද විප්ලවවාදි න්‍යාය පත්‍රයක් ගෙන යන බවට ද පුරසාම් දෙඩීය.

වාමවාදී හොරගල්

දිගින් දිගටම සිදුවූ මෙම බලය ලබාගැනීමේ උපක්‍රමයන් පක්ෂය තුළ දෙදෙරීම් හා මතවාදී ඛණ්ඩනයන් සිදුකිරීම දක්වා ඉහල ගියේය. අද ජවිපෙ ධනපති පන්තියේම කොටසක් නැතිනම් එහි ආරක්ෂකයකුගේ භූමිකාවකට පණ දෙමින් තිබේ. 1970 දී විකොස ප්‍රධාන ලේකම් වූ කීර්ති බාලසූරිය සදහන් කළේ ” සමාජවාදය පිළිබඳව මොන මවාපෑම් කලත් ජවිපෙට මාක්ස්වාදය සමග කිසිදු සම්බන්ධයක් හෝ නොමැති බවය. ඔහු අද ජවිපෙ මුහුණ දී සිටින අර්බුදය එදා දුටුවේය. ඒ අනුව ඔහු පවසා සිටියේ “ජනතා විමුක්ති පෙරමුණ වනාහි, ලෝකය පුරා අනෙකුත් රටවල ගොඩනගා ඇති මධ්‍යම පන්තික ව්‍යාපාරයන්ට සමාන්තරව, ලංකාවේ සිංහල සුළු ධනේශ්වරය විසින් ගොඩනගන ලද ව්‍යාපාරයක් බවයි. එහි අරමුණ කම්කරු පන්තිය බලය කරා ගෙන ඒම නොව, සිංහල කම්කරුවන්, සිංහල ගොවීන්, සිංහල පීඩිතයින් හා සිංහල ශිෂ්‍යයන් පමණක් නොව, ‘දේශප්‍රේමයේ’ පදනම මත ජාතික ධනේශ්වර පන්තියේ කොටස් ද රැළිකර ගනිමින් ‘දේශප්‍රේමී රාජ්‍ය යන්ත්‍රයක්’ ගොඩනැගීම යි.” කීර්ති බාලසුරියගේ ප්‍රකාශය කුමන පදනමක සිට පැවසුවද අද වන විට සත්‍යයක් ව ඇති බව වන කරුණු ඕනෑ තරම් තිබේ.
2023 පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගය නමින් ජවිපෙන් පිටත අටවාගත් සන්ධානය විසින් සිවිල් විද්වතුන් හා සමාජ ක්‍රියාකාරීන් මෙන්ම කලාකරුවන්ද ගොන්නක් පිරිවරා ගනිමින් පවත්වන සංදර්ශනය පක්ෂ අභ්‍යන්තරයේ බහුතරයකගේ දැඩි සැකයට තුඩු දුන් කරුණක් බවට පත්ව ඇත. මේ නිසාම තැනින් තැනට ගොස් අභ්‍යන්තර සාකච්ඡා පවත්වමින් පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වාට සිදුව ඇත්තේ මේ ධනේෂ්වරකරණය, වාමාංශික උපක්‍රමයක් බව කියමින් අභ්‍යන්තර ගැටුම් කළමණාකරණය කිරීමටය. ඔහු එහිදී මෙම තත්වය උපක්‍රමික තත්වයක් බවත් එයට නිහෙඬව මුහුණ දිය යුතු බවත් පවසා ඇත. කෙසේ නමුත් මේ වන විට අශ්වයා පැන ගොස් ඇති බවට වන සාක්ෂ්‍ය ඕනෑ තරම් ඇත. මේ දිගුව ජවිපෙ ප්‍රතිපත්තීන්ට අනුකූල නොවන අනුර දිසානායක විසින් තමා වෙත බලය ලබාගැනීමේ අරමුණින් දියත් කරනු ලබන ධනේෂ්වර පක්ෂ ආකෘතියේම තවෙකක් බව පහල සාමාජිකයන්ට ඒත්තු ගොස් හමාරය. මේ නිසා පක්ෂයට එකක් කියා එළියට තවත් දෙයක් කීමේ දෙබිඩි දේශපාලනයකට අද ජවිපෙ උර දී සිටී.

උගුරට හොර බෙහෙත් බොන ජවිපෙ

ක්‍රමයෙන් වර්ධනය වන අභ්‍යන්තර ගින්නත් එළියේ ගොඩ නැගෙමින් පවතින රැල්ලත් යන දෙක විසින් ජවිපේ නායකත්වය ව්‍යාකූල කර ඇත. ජනබලවේගයේ සාමාජිකත්වය තුළ ජවිපෙ සුළතරය වන අතර නාමයෝජනා භාරදීමේදීද ජවිපෙ ක්‍රියාකාරිකයින් අවම විය. මෙය කොතරම් දරුණුද යන්න පෙනෙන්නේ බොහෝ ආසන සදහා මෑත්ක වන තුරු පොහොට්ටුව නියෝජනය කළ පිරිස් නාම යෝජනා සදහා ඇතුලත් කොට තිබීම නිසාය. මේ හේතුවෙන් ප්‍රාදේශිය මන්ත්‍රී ධුර ඉසුලූ පැරණී ජවිපෙ සාමාජිකයන් උරණව සිටී. එහෙත් එය ඔවුන් දරා ගැනීමට සිදුව තිබේ. රැල්ලට හසුව ගසා ගෙන යන ජවිපෙ නායකයින් රැල්ලට රැවටී ඇති බව පෙනෙන්නේ මේ තුලිනි. පිටත ඔපය සංදර්ශනකාමීව ගලාගෙන යන අතර ජනප්‍රියතාවයද දිනෙන් දින වැඩි වෙමින් තිබේ. එහෙත් පක්ෂයේ ඇතුලත ගින්න ඇවිලෙමින් තිබේ. මෙය මැතිවරණයේ දී ඉලක්කම් ගණනින් ඡන්ද ගොඩ වැඩි වූවාට ජවිපෙ උරුමය රැකගැනීම සදහා සටනේදී පරාජය වීමට ඉහළ ඉඩක්තිබේ.

අනුර වේදිකාවේ යටදී රනිල් වීම

කවර හෝ මැතිවරණයක් සදහා ඉදිරිපත් වීමේදී මෙතෙක් ජවිපෙ ඉතිහාසයේ කිසියම් සාධනීය සැලසුම් සහගත වැඩපිළිවෙලක් තිබුණි. එය කලින් සැලසුම් කොට සමාජයේ තොරතුරු ගෙන පක්ෂ අභ්‍යන්තර ක්‍රියාකාරීන් හා දේශපාලන මණ්ඩලයේ අනුමැතියෙන් වන වැඩපිළිවෙලකි. ඒ අනුව එයට අනුව සැකසෙන පෝස්ටරය, මාධ්‍ය හමුව, හා වේදිකාවේදී කතා කිරීම සිදුවිය. එහෙත් මෙවර ජාතික ජන බලවේගය ලෙස ඉදිරිපත්කර තිබෙන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල ප්‍රදාර්ශනාත්මක හුදු ලියවිල්ලක් පමණක් වී තිබේ. ඒ ගැන බරසාර සාකච්ඡාවකට ජවිපෙ ඉඩ තබාද නැත. එමෙන්ම අනුර ගලධාරියේදී කියන්නේ එකකි, හඳුන්නෙත්ති මාතරදී තවත් එකක්ද, ලාල් කාන්ත නුවරදී තමන් විසින් හදාගත් එකක්ද, වසන්ත අනුරාධපුරයේදී තවත් එකක්ද වන ලෙස මේ ප්‍රතිපත්ති එක් එක් ආකාර ගෙන ඇත. මෙය මසාලා කොත්තු ආකෘතියේ වැඩපිළිවෙලක් බවට පත්ව ඇති බවට ආසන්නම උදාහරණය වන්නේ ගලධාරී හෝටලයේ දී අනුර විසින් රටේ ආර්ථිකයට වගකියන පිරිසක් ඉදිරියේ කළ ප්‍රකාශයයි. එහිදී ඔහු විසින් කරුණු 05ක් සම්බන්ධයෙන් අවධානය යොමු කරයි. එම කරුණු පහ ජනබලවේගයේ ඉදිරි වැඩපිළිවෙලෙහි කොටසක් වීම මෙහි වන අරුම දනවන දෙයයි. මන්ද ඒ රනිල් දැනටත් ක්‍රියාත්මක කර තිබෙන විසඳුම වන නිසාය. ඒ අනුව ජවිපෙ නායකයා අනේ අපොයි ජවිපෙ යනුවෙන් කියවෙන තැනට වැඩ සිද්ද කොට ඇත. ජවිපෙට වැදී තිබෙන රතු අලි ලේබලයට සාධාරණයක්ද මේ අනුව සිදුව තිබේ.

කොත්තුවක් වන පළාත් පාලනය

ජවිපෙට අනුව දැන් රැල්ල මාලිමාවේ රැල්ලය. නමුත් මෙය ජවිපෙ රැල්ල නොවේ. එහෙත් ජවිපෙ සංවිධාන ජාලය සිතා සිටින්නේ මෙය ජවිපෙ රැල්ල බවය. එය ජවිපෙ අත් දකින අභාවාචකයයි. හිමිවන මන්ත්‍රීධුර සංඛ්‍යාවන් ගැන සිහින දැකීම ඔවුන් පෙර සිටම පුරුදු පුහුණු කළ මානසික තෘප්තියය. නමුත් රැල්ල නැගෙන්නා සේම රැල්ලට ගසා ගෙන යන දේද බොහෝය. මදක් නතර වී සිතුවොත් මේ මාලිමාවෙන් කොට්ඨාෂවලට ඡන්දය ඉල්ලන බහුතරය ඇත්ත ජේවීපිකාරයෝ නොවේය. අතිරේක ලැයිස්තුව ගතහොත් එහි වැඩි පිරිසත් එක්කෝ පොහොට්ටුවට වැඩ කළ පිරිස්ය. නැතහොත් ශ්‍රිලනිපයේ පිරිස්ය. පක්ෂ මාරුවීම් දිගින් දිගටම සිදුකළ පළපුරුදු ඇති පිරිස්ය. නමුත් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ඇත්තේ ඔවුන් බිහිකළ දේශපාලන මව් කුසේය. එනම් වංචාවන්ට දූෂණයන්ට කප්පිත්තන් වූ දේශපාලන වටපිටාවකය. පෞද්ගලික වුවමණාවන් සන්තර්පණය කර ගැනීමේ නොනිත් ආශාවන්ගෙන් පෙළෙන වුන්ය. මේ අය මාලිමාවෙන් තරඟ කොට ජයගෙන පළාත් පාලන ආයතනක මන්ත්‍රීධුරයකට හිමිකම් කීමෙන් පසුව ක්‍රියාත්මක කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ න්‍යාය පත්‍රයද ? නැත. එය කිසිසේත්ම සිදු නොවන්නකි. ඔවුන් ජාජබයේ කතන්දර වලට හෝ එකඟවන්නේ තමන්ගේ පෞද්ගලික ආශාවේ සීමාව ඉක්මවා නොයන තැන දක්වා පමණි. බලය ලබාගත් පසුව තමන්ට අවශ්‍ය ලෙස ඔවුන් රඟන්නු ඇත. පැත්ත මාරුකිරීම් ගැන එක දිගට අසන්නට ලැබෙනු ඇත. මේ නිසාම මාලිමාවට ඡන්දය දී අධිෂ්ඨානයේ පුරවරය ගොඩ නැගෙතැයි විශ්වාස කරන රැල්ලට හසුවූ ජවිපෙ සාමාජිකයාට දැකිය හැකි වන්නේ පෙර පරිදිම පාරේ ගල් තාර ටිකෙන් ගසා කන, සෙවිලි තහඩුවෙන් ගසා කන, සභාවේ ප්‍රතිපාදනයෙන් තමන්ගෙ පවුල නඩත්තු කරන, පෞද්ගලික අරමුණු වෙනුවෙන් මන්ත්‍රීධුරය අවභාවිතා කරන තමන්ගේ මන්ත්‍රීවරුන් පිරිසක් විනා අන් කවරෙකුද නොවේ.

සිදුවීම් සිදුවන්නේ මෙසේ නම් ජනතා විමුක්ති පෙරමුණ කවර ක්‍රමයකින් හෝ බලය ලබාගෙන සිදුකිරීමට උත්සාහ දරණ විප්ලවීය තත්වයන් පිළිබද ඇත්තේ පෙර තිබූ අභාවාචකයන්ගේ සලපිලාකාර ප්‍රතිඵලයමය. ඒ අනුව අටවාගත් ඊනියා සන්ධාන මගින් වෙනස් ආකෘති භාවිතා කොට බලය බලා ගැනීමේ මාලිමා සිහිනයේදී පක්ෂයේ ප්‍රතිපත්ති කොත්තු මසාලාවක් බවට පත් කර ගෙන ඇත. දැන් ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම කොත්තුව දමා අවසන්ය. කකුළුවා නටන්නේ හැළියේ දිය රත් වෙන තෙක් පමණක් කියන්නාක් මෙන් මාලිමා රැල්ල ජවිපෙ ඉතිහාසයේ ලැබූ සියලු ජයග්‍රහණයන් පරාජයට පත්කර පක්ෂය දියකර හැරීමේ මූලික අඩිතාලම මෙවර පළාත් පාලන මැතිවරණය වෙනු ඇත. ජවිපෙ මේ ඉරණම දැන් වැලැක්විය හැකි නොවේ. මේ අනුව රැල්ලට හසුවී විනාශ වීමට නියමිත නෞකාවක් පදවන කපිතාන් වරයෙකුගේ භූමිකාව වර්තමාන ජවිපෙ නායකයාට අනුගමනය කරන්න සිදුව තිබේ. රැල්ල හමුවේ සියල්ල විනාශවී අවසන් වෙන තෙක් නෞකාවට වී සිටිනවාද නැතිනම් කලින්ම පණ බේරන් පැනලා යනවාද යන්න ඔහු තීරණය කරනු ඇත.

කේ.පී.අයි.ප්‍රියංගනී

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *