අයවැය හමුවේ වාහන ආනයනය ගැන අලුත් කතාවක්..!

වාහන ආනයනය ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයකට ආනයන සීමා පැනවීම හේතුවෙන් අයවැයෙන් අපේක්ෂා කරන ආදායමට ළඟාවීමට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට ලබාදිය හැකි දායකත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා එහි සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබේ.

එහිදී රේගු නිලධාරීන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ආනයන සීමා පවතින තෙක් බලාපොරොත්තු වන ආදායමට ළඟාවිය නොහැකි බවය.

මෙම තත්ත්වය යටතේ මෙම වසර තුළ ලබාගත හැකි ආදායම ලෙස රුපියල් බිලියන 783ක් පුරෝකතනය කළ හැකි බව ද එම නිලධාරීන් පවසා තිබේ.

එමෙන්ම රේගුවට ලැබෙන ආදායමෙන් සියයට 20ක පමණ ප්‍රමාණයක් වාහන ආනයනයේ දී පනවන බදු හේතුවෙන් ලැබෙන අතර සීමා පවතින තෙක් බලාපොරොත්තු වන ආදායමට ළඟාවිය නොහැකි බව රේගු නිලධාරීන් එහිදි පෙන්වා දී ඇති බව සඳහන්ය.

2014 වර්ෂයේ සිට 2022 කාලසීමාව ආශ්‍රිත වැඩිම බදු ආදායම ලබාගෙන ඇත්තේ 2018 වර්ෂයේ දී බවත් එම බදු මුදල රුපියල් බිලියන 923ක් බවත් නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

මේ අනුව මෙම ආදායමෙන් රුපියල් බිලියන 194ක් වාහන ආනයනයේ දී පනවා ඇති බදු හේතුවෙන් ලැබී ඇති බවට ද එහිදී අනාවරණය වී ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේය.

මේ හේතුවෙන් වසර තුනක පමණ කාලසීමාවක සිට වාහන ආනයනය සීමා වී ඇති බැවින් රේගුවේ ආදායම අඩු වී ඇති බවත් මෙම මස සිට වාහන ආනයනයට අවසර දෙන්නේ නම් ඉදිරි මාස 06 ඇතුළත රුපියල් බිලියන 150ක් වාහන ආනයනනයේ දී බදු ලෙස ලබාගත හැකි බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *