අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දීමක්..!

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා මෙතෙක් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත නොකළ සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මණින් තම බැංකු ගිණුම විවෘත කර ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභ හිමි කර ගැනීමට කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා දැනුම් දෙනවා.

නියමිත පරිදි බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන් 156,261කට අදාළ ගෙවීම් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා කියා සිටියේ.

ඒ මහතා මේ බව සඳහන් කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අස්වැසුම වැඩසටහන පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශව සමග ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීයි.

පූර්ණ විනිවිදභාවකින් යුක්තව වඩාත් සුදුසුම පාර්ශවයන් වෙත සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබා දීම අරමුණු කරගනිමින් ඇරඹි අස්වැසුම වැඩසටහනෙහි වත්මන් තත්ත්වය පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා පසුගිය ජූලි මාසයට අදාළ ප්‍රතිලාභ පියවර 05ක් යටතේ ඔක්තෝබර් මස 16 වනදා වන විට, පවුල් 1,230,097ක් සඳහා රුපියල් 7,705,302,250.00 ක මුදලක් ගෙවා අවසන් අතර ජූලි මාසයට අදාළ ඉතිරි කොටස්වල ගෙවීම් දෙසැම්බර් මාසය වන විට ගෙවා අවසන් කිරීමට නියමිතයි.

අභියාචනා සහ විරෝධතා පරීක්ෂණ අවසන් නොවීම ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් තවත් ප්‍රතිලාභීන් පිරිසකට අදාළ ගෙවීම් සිදු කිරීම ප්‍රමාද වී ඇති බව එහිදී අනාවරණය වී තිබෙනවා.

එහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ එම ප්‍රමාදයන්ට හේතු වී ඇති කරුණු සොයා බලා ප්‍රතිලාභ ගෙවීම් කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙසයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *