හිටපු නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුමගේ සත්දින දානමය පින්කමේදී තෙවරප්පෙරුම බිරිය ශෙරීන් තෙවරප්පෙරුම මහත්මියට සුදුසු පක්ෂයකින් දේශපාලනට එන්නයි මහා සංඝරත්නය ඉල්ලීමක් කරති.
මේ ඉල්ලීම කරනු ලැබුවේ පාලිත තෙවරප්පෙරුම හිටපු අමාත්‍යවරයාගේ සත් දින දානමය පින්කම ශතාධික මහා සංඝරත්නය සහ දසසිල් මාතාවන් උපාසක උපාසිකාවන් වෙනුවෙන් මතුගම යටදොලවත්ත ඒ මහතාගේ නිවෙසේදී පැවති දානමය පින්කම අවස්ථාවේදීය.
එහිදී අනුශාසනාව පැවැත්වූ පයාගල සමනක්කන්ද ගෝමරකන්ද පුරාණ රාජමහා විහාරාධිපති ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු පාර්ශ්වයේ කළුතර දිස්ත්‍රික්කයේ පස්යොදුන් රට උප ප්‍රධාන සංඝනායක වත්තල අමරවංශ නාහිමියන් වැඩි දුරටත් පැවසුවේ එදා බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු පංච බලවේග ප්‍රතිපත්තිය ඉදිරියට රැගෙන යෑමට බණ්ඩාරනායක මැතිනිය දේශපාලනයට ඒමට හේන්පිටගෙදර ඤාණසීහ ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය මූලිකත්වයෙන් ආරාධනා කළා මෙන් අදත් මේ සිදු කරන්නේ මහා සංඝරත්නය මූලික කරගනිමින් එවැනිම ඉල්ලීමක් බවද උන් වහන්සේ පැවසූහ.
මේ අවස්ථාවට ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කැකුළන්දල පාර්ශ්වයේ පස් දුන් කෝරළයේ ප්‍රධාන සංඝනායක අගලවත්ත පතිරාජ පිරිවෙන්හි හිටපු නියෝජ්‍ය පරිවේණාධිපති ආචාර්ය යටදොළවත්තේ චන්ද්‍රසිරි නාහිමි සහ පයාගල සමනක්කන්ද ගෝමරකන්ද පුරාණ රාජමහා විහාරාධිපති ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු පාර්ශ්වයේ කළුතර දිස්ත්‍රික්කයේ පස්යොදුන්රට උප ප්‍රධාන සංඝනායක වත්තල අමරවංශ නාහිමි ප්රමුඛ මහා සංඝරත්නය සහ දසසිල් මෑණිවරුන් උපාසික උපාසිකා යන සිව්වරක් පිරිස සහ පාලිත තෙවරප්පෙරුම මහතාගේ පවුලේ ඥාතීන් සහ හිතෛෂීන් ඇතුළු ඒ මහතාට ළැදි පිරිසක් සහභාගි වූහ.