ඇත්ත යටගොස් ගොමරිටි තටු ලබන මේ කාලයේ ඇත්ත හංගලා බොරුවට තටු දෙන එක මහලොකු දෙයක් නෙවෙයි. මේ කතාව මතක් වුනේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාෆි නගර ග්‍රාමසේවා වසමේ වැලි කැනීමක් ගැන මාධ්‍ය වාර්තා කිහිපයක් ගැන අවධානය යොමුවුණා නිසා.
එක මාධ්‍යක් කියන විදිහට මේක එක් බලපත්‍ර ලාභී සමාගමකට හිතුමතේ වැලි ජාවාරම කිරීමට ඉඩදීමක්. තවත් මාධ්‍ය වාර්තාවකට අනුව එය පරිසර විනාශයක්. තවත් මාධ්‍ය වාර්තාවක් කියන්නේ අතයට ගනුදෙනු නිසා ජාවාරමුන්ට නිදහස දීලා කියලා. තවත් පිරිසක් කියන විදිහට මේක භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති සහ අධ්යක්ෂ ජෙනරාල් ගේ දූෂිත කටයුත්තක්.
මේ ගැන කතා කරන අය කියන්නෙම ජාතික සම්පතක්, ස්වාභාවික පරිසර සම්පතක් වෙත කරන විනාශයක් කියලා. ඒ නිසා මිනිස්සුන්ටත් හනේ හපොයි ගෑවෙන ප්‍රමාණය වැඩියි. ඒ නිසාම තමයි, මේ වගේ “මාර” හැඟීම් උස්සලා දෙනකොට අපි ටිකක් විතර අවධානයෙන් මේ දිහා බලන්න ඕන.
කවුරු කවුරුත් මේ වැඩේට ජාතික හැඩයක් දෙන්න ගියාට අපි කරපු සොයා බැලීම තුල නම් මේක සම්පූර්ණයෙන්ම බිස්නස් වලියක්. කොහොමටත් මේ කාලයේ ගොඩක් බිස්නස් වලි එන්නෙම “ජාතික” තහඩුව ගහගෙන. අපි කියන්න යන්නේ මේ ඒ ගැන වගේම වෙමින් තියන දේ ගැන යම් අවබෝධයක් ගන්න කරුණු කිහිපයක්.
සාෆි නගර වැලි කැණීම !
වැලි පස් කළුගල් යන කෝටි ගණන් මුදල් ඉපයිය හැකි ව්‍යාපාර බව රහසක් නෙවෙයි. ඒවා කාට කාටත් සිදුකළ හැකි ව්‍යාපාර නොවන්නේත් ඒ නිසයි. සැබවින්ම අපේ රටේ මේ කටයුතු සිද්ධ වෙන්නේ, ව්‍යාපාර වලට වඩා මාෆියා පන්නයට. පාතාලය, ජාවාරම , දේශපාලනය වගේම නිලධාරී පැලැන්තිය ඇතුළු කර්මාන්තයේ පිරිස් මේ මාෆියාව නියෝජනය කරනවා. සාෆි නගර වැලි කැනීමේ සිදුවීම මේ තරම් මාධ්‍ය අවධානයක් දිනාගැනීම පිටුපස ඇත්තේත් ඒ කතාවමයි.
පැහැදිලිවම සාෆි නගර වැලි කැණීමේ සිදුවීම මාධ්‍ය බෝම්බයක් වෙන්නේ, විසල්මා කන්ස්ට්‍රක්ෂන් නම් සමාගම ගොනුකරන අභියාචනයක් සමඟ. ඔවුන්ගේ අභියාචනය රේඛීය අමාත්‍යාංශය වෙත යොමු වෙන්නේ තමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ (අයදුම්පත්‍ර අංක IML /A /N /EP /CLAY SAND /2020/3188) වැලි නිධිය වෙනත් පාර්ශවයක් වෙත ලබාදීමට එරෙහිව. ඒ වගේම ඒ නිධිය සම්බන්ධව ඔවුන්ට ඇති හිමිකමත් ඔවුන් එහිදී දක්වා තිබෙනවා.
විසල්මා කන්ස්ට්‍රක්ෂන් නිධියේ කැනීම් කටයුතු වලට අදාළ අයදුම්පත්‍රය යොමුකර තියෙන්නේ 2020 .12.13 වනදා. එතැන් සිට මේ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේපවීම වගේම අභියාචනය විභාග කිරීමේ ක්‍රියාවලියක් දියත්ව තිබෙනවා. මේ තුල දක්නට ලැබෙන සැකසහිත කරුණක් වන්නේ, විසල්මා කන්ස්ට්‍රක්ෂන් වෙනුවෙන් වන සිතාගත නොහැකි ලිහිල් ප්රතිපත්තියක සිට අමාත්‍යංශ නීති නිලධාරිනිය කටයුතු කිරීමයි. ඒ නිරීක්ෂණ මත අමාත්‍යංශ ලේකම්වරයා ද නිගමන ගෙන ඇති නමුත්, එහි අවසන් ප්‍රතිඵලය වී තිබෙන්නේ, සේරම කුණු අවසානයේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල් ගේ ගිණුමට බැරව තිබීමයි. මෙහිදී නොතකා හැර තිබෙන්නේම, පතල් හා ඛනිජ ද්‍රව්‍ය පණතින් ස්ථාපිත බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයට සිදුවන ගිනිය නොහැකි හානියයි.
අදාළ පනතේ 51 වගන්තියට අනුව යම් භූමියක් තුළ කැනීම් කටයුතු පවත්වාගෙන යාමේදී එම භුමියේ හිමිකාරීත්වය දරන ආයතනයේ හෝ පුද්ගලයාගේ එකඟතාවය අවශ්‍ය වෙනවා. විසල්මා කන්ස්ට්‍රක්ෂන් අයදුම්පත්‍රය කාර්යාංශය විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේම මේ මුලික කොන්දේසිය සැපිරීමට ඔවුන් අසමත්ව ඇති නිසයි. කෙලින්ම කිව්වොත්, මේ ප්‍රශ්නගත සිදුවීමට අදාළ ප්‍රදේශයේ හිමිකාරීත්වය ඇති මුතුර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ (අයදුම්පත්‍ර අංක IML /A /N /EP /CLAY SAND /2020/3188) වෙත කැනීම් බලපත්‍රයක් නිකුත් කිරීම වෙනුවෙන් අවසර ලබාදුන් ගොනුවක් නෑ. ඒ වෙනුවට අභියාචනා මණ්ඩලය වෙත පවා විසල්මා කන්ස්ට්‍රක්ෂන් ඉදිරිපත් කර ඇත්තේ, මුතුර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාදුන් බව කියන ලිපියක පිටපතක් පමණයි. වඩාත් සැක උපදවන කරුණ වන්නේ මේ ලිපිය සිංහල භාෂාවෙන් නිකුත්කර තිබීමයි. මොකද මුතුර් හි ලේඛන කටයුතු කිසිවක් සිංහල භාෂාවෙන් සිදු නොවන නිසා.
ඒ විතරක් නෙවෙයි, විසල්මා කන්ස්ට්‍රක්ෂන් අභියාචනයට ඉදිරිපත්කර ඇති බලපත්‍ර ඉල්ලුම් පත්‍රයත්, මේ වන විට වෙනත් ආයතනයකට ලබාදී ඇති බවට ඔවුන් විසින්ම චෝදනා කරන, බලපත්‍රයට අදාළ ස්ථාන ගැනත් ඇත්තේ පරස්පරයක්. ඒ මේ බලපත්‍ර අයදුම්පත් ස්ථාන දෙකකට අදාළ නිසා. ඒ වගේම ඊට අදාළ අභියාචනය විභාග කර ඇත්තේද ඒකපාර්ශවීයවයි. ඒ සම්බන්ධයෙන් අපි දන්න විදිහට පරිසර අමාත්‍යවරයාත් දැනුවත්.
එක පැත්තකින් අදාළ පණත අභියෝගයට ලක්වීම ගැනවත් අවධානයක් යොමුනොකර විසල්මා කන්ස්ට්‍රක්ෂන් ගැන දක්වන දයාව නම් පැහැදිළිව සැකසහිතය. එහෙම සැකසංකා ඇතුව මේ ප්රශ්නය ගැන තවදුරටත් කරුණු හොයනකොට දැනගන්න ලැබුණේ , මෙරට කණිජ කර්මාන්තයේ නිරත මාෆියාව මේ සිදුවීම දඩමීමා කරගෙන විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල් විසින් මේ වන විට ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් ඉන්න බවයි.
දූෂිත නිලධාරී මාෆියාව වියරු වැටිලා !
විශේෂයෙන් මීට වසර දෙකකට පෙර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තිබුණේ හොඳටම නට්ටන් වෙලා. නමුත් නව බලපත්‍ර නිකුතුව සහ එම කටයුතු විධිමත්ව සිදුකිරීම හරහා අද වෙනකොට ආයතනය අළු ගසා නැගිට තිබෙනවා. ඒ වගේම තමයි කර්මාන්තයේ ඉන්න ජාවාරමුන් සම්බන්ධයෙන් හැකි උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ගෙන තිබෙනවා. එහෙම කරන්නේ මහා ලොකු කණ්ඩායමක් තියාගෙන නෙවෙයි, වැටලීම් නිලධාරීන් 3ක් එක්ක. වැටලීම් නිලධාරීන් තුනක් එක්ක ඛනිජ කොල්ලය පාලනය කිරීම කොහෙත්ම සෙල්ලම් වැඩක් නෙවෙයි, හිතන්නවත් බැරි දෙයක්. නමුත් පොලිපතිගෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ සඳහා ඉල්ලගෙන තමයි මේ වැටලීම් කරන්නේ. මේකත් ජාවාරමුන්ට සෑහෙන්න රිදුන කාරණයක්. ඒ වගේම තමයි, ඛනිජ අපනයනය කරන උදවියට අදාළ රජයේ ගාස්තු ඩොලර් වලින් ගෙවන්න නියම කිරීම.
ගෙවුම් ශේෂ අර්බුදයේ දරුණු ලෙස ගිලුණු රටකට, එය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තමන්ගේ පැත්තෙන් එහෙම හරි දායකත්වය සපයලා ඩොලර් ටිකක් හොයලා දෙන්න හැදීමත් ආදර්ශයක්. අගය කරන්න ඕන දෙයක්. නමුත් සිද්ධ වෙලා තියෙන්නේ ඒකෙ අනිත් පැත්ත. දියකිරට බළලුත් සාක්ෂි කිව්වා වගේ මේ ගැන විරෝධය දක්වන්න ආයතනයේ ඉන්න දූෂිත නිලධාරීනුත් එකතු වෙලා. කොහොමටත් ජාවාරමුන්ට විතරක් නෙවෙයි, ආයතනය විධිමත් කරනවාට මේ දූෂිත නිලධාරී කල්ලි විරුද්ධයි. ඒකට තවත් සාක්ෂියක් තමයි, බලපත්‍ර ගැනීම සඳහා අයදුම් කිරීම මාර්ගගත ආකාරයට සිදුකිරීමට යෝජනා කල විටත් දැක්වූ විරෝධය. ඔවුන්ට අවශ්‍ය බලපත්‍ර අයදුම්කරුවන් ආයතනයට ඇවිල්ලම අයදුම්පත් බාරදීම. පැහැදිළිවම ඒ අතයට ගාන කපන්න මිසක් වෙන අහවල් දෙයක් නෙවෙයි.
අන්න ඒ නිසා මේ දූෂිත නිලධාරීන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල් ගේ වැඩ පිළිවෙල කඩාකප්පල් කරන්න නොකරන දෙයක් නෑ. මේ වෙනකොට ආයතයේ ආදායම ඩොලර් බිලියන 10ක් කරන්න භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල් සැලසුම් කරලා තියෙන්නේ. ඒ කටයුත්ත සාර්ථක වුණොත් එය ආයතනයට විතරක් නෙවෙයි, රටම ගොඩයන වැඩක් වෙනවා. එයත් දූෂිත නිලධාරී මාෆියාවට ප්‍රශ්නයක් වෙලා.
ඔවුන් මේ ගැන කොතරම් වියරු වැටිලද කිව්වොත් ජනාධිපතිට පවා පෙත්සම් යොමුකරලා තියෙන්නේ. වැඩේ කියන්නේ ඒ පෙත්සම් වල කරුණු විතරක් නෙවෙයි, අත්සන් පවා හොරට ගහලා මේ වෙනකොට මාට්ටුත් වෙලා තියෙන්නේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති EWAN උදයංග ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් පවා සිදුකරලා තියෙන්නේ, ජනාධිපතිට යොමුකළ පෙත්සමේ තම සංගමයේ නම සහ ධූරය සහිත අත්සන ව්‍යාජ ලෙස යෙදුවක් බවට.
ප්‍රේමලාල් ගේ කෙරුවාව !
ඒ සිදුවීමක් විතරයි. ඒත් ජනාධිපතිට යොමුකරන පෙත්සමකට පවා ව්‍යාජ අත්සන් යොදනවා කියන්නේ ආය අහන්න දෙයක් නෑ, නීලකාස හොරුම වෙන්න ඕන කියලා නොහිතා බෑ. ඒ නිසාම අපිට හිතුනා මේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල්ගේ වැඩ පිළිවෙල කඩාකප්පල් කරන්න තැත් කරන මේ නඩය ගැන තව ටිකක් හොයන්න ඕන කියලා. එහෙම හොයනකොට මාට්ටු වුණා, නියම හාදයෙක්. පෙනුමෙන් මාර වෘත්තීය සමිති නායකයෙක්. මෑන් ගේ නම KAR ප්‍රේමලාල්. උසස් පෙළ සඳහා 1992 දී සහ 1993 දී පෙනී සිට ඇතත් සමත්ව තියෙන්නේ වැඩ 2 ක් විතරයි. 2006 වසරට පෙර ලිපිකරු පත්වීම ගන්න උසස් පෙළ සමත්වීම අනිවාර්යකර නොතිබූ නිසා පත්වීම ගැනීමේ ගැටළුවක් නෑ. නමුත් ප්රශ්නය තියෙන්නේ ඔහු 2008 දී පර්යේෂණ සහකාර තනතුර ගත්තේ ගත්තේ කොහොමද කියන එකයි. මොකද පර්යේෂණ සහකාර තනතුර කළමනාකරණ සේවා 30 චක්‍රලේඛයට අනුව ( කළමනාකරණ සහකාර – තාක්ෂණ MA 2-1 හෝ MA 2-2 ) ඛාණ්ඩයට ගැනෙන තනතුරක්. ඒ සදහා තෘතිය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් (TVEC ) පිළිගන්නා ලද කාර්මික / වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ජාතික වෘත්තීය කුසලතා (NVQ ) පස්වන (5) වන මට්ටමට නොඅඩු සහතිකයක් ලබා තියෙන්න ඕන. නමුත් ඔහුගේ අධ්‍යාපන සුදුසුකම සාමාන්‍ය පෙළ විතරයි.
එතන පැහැදිලි ප්‍රශ්නයක් තියනවා. ඔහු කොහොමද සුදුසුකම් නොමැතිව මේ තනතුර ලබාගත්තේ ? මේ පත්වීම පවා වැරදි සහගතයි. මෙන්න මෙහෙම පත්වීම් ලබපු හාදයන් තමයි, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල් ගේ අධ්‍යාපන සුදුසුකම් හොයන්න යන්නේ. ආයතනයේ උන්නතිය සේවක උන්නතිය වෙනුවෙන් පෙනී හිටිනවා කියලා වැල් බයිලා ගහලා ආයතනයට කරන හැම විනාසයක්ම වෙනුවෙන් නායකත්වය දෙන්නේ.
දියකිරට සාක්ෂි දෙන බළලුන් !
කාර්යාංශයේ භූ විද්‍යාඥ ලෙස කටයුතු කරන DPR වීරකෝන් මහත්මියත් ඊට දෙවැනි නෑ. කූඨ වාර්තා නිකුත් කිරීම හේතුවෙන් වැඩ තහනමට ලක්ව සිට ඊට පස්සේ දේශපාලන බලයෙන් පත්වීම හදාගත්ත තැනැත්තියක්. ඇගේ වරද ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයේ XLVIII වන පරිජ්ජේදයේ රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකළ හැකි වරදවල් සම්බන්ධයෙන් පළමු උප ලේඛනයට ගැනෙන වරදක් හෝ වරද කිහිපයක් සිදුකළ තැනැත්තියක් ලෙසයි සළකන්න වෙන්නේ. අන්න එහෙම කරපු තැනැත්තියක් අදත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල් දූෂිත බවට චෝදනා නගන්නේ. ඒ විතරක් නෙවෙයි, කාර්යාංශයේ ලේඛකාධිකාරී හේමා ලියනාරච්චි පවා ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත්කර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ තැනැත්තියක්. දැන් ඔවුන් සියලු දෙනා එකත්පස්ව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල්ට එරෙහිව එකම කඳවුරකට ඇවිත්.
මේ අදාළ දූෂිත නිලධාරී කල්ලියේ තුන් දෙනෙකු විතරයි. මේ උදවිය කළ වැරදි මොනවාද කියලා දින වකවානු සමඟ අප ඇත තිබෙනවා. ආයතනයේ උන්නතිය වෙනුවෙන් කියමින්, ආයතනය වනසන දූෂිත නිලධාරී කල්ලියක් සමඟ තමයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ට ඉදිරියට යන්න වෙලා තියෙන්නේ. අවාසනාව කියන්නේ, ඔවුන් මීඩියා ඉස්සරහා බොහෝම සුදු චරිත ලෙස ඉදිරිපත් කරන රංගනයට ඇතැම් මාධ්‍ය වගේම ජනතාවත් හසුවීම.
ඒ කොහොම වෙතත් හොරකම බොරුව උපන්ගෙයින් උරුම කරගත්ත මේ වගේ කල්ලි එක්ක ආයතනයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. අපේ අදහස නම් මේ නාඩගම් මෙතනින් අවසන් වෙන්න ඕන. කාර්යාංශයේ වැඩකටයුතු කඩාකප්පල් කරන මොවුන් ගැන තීන්දුවක් ගන්න ඕන. මොකද මොවුන් ජාවාරමුන්ගෙන් විතරක් නෙවෙයි, රටේ ජනතාවගේ බදු මුදලිනුත් වැටුප් ගන්නවා. අන්න ඒ නිසා අපිට මෙහෙම කියන්න අයිතිය තියෙනවා.
චමින්ද මොණරවිල