පරාජය ගැන චමරි කියපු දේ..!

වසර 14 කට පසුව ආසියානු කුසලාන අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව ලැබුණ ද, එම කුසලානය ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වීම පිළිබඳව තමන් කනගාටුවට පත් වන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසයි.

ආසියානු කුසලාන පන්දුවාර 20 – 20 තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරදා කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම පසුගිය දා සමත් වුණි.

ඒ අනුව තරගාවලියේ අනුශුරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (16) පස්වරුවේ දිවයිනට පැමිණියේය.

එහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු,

“මම ගොඩක් කනගාටු වෙනවා මේ අවස්ථාවේ ආසියානු කුසලානය ගෙනත් දෙන්න බැරි වුණ එක ගැන. නමුත් ක්‍රීඩිකාවන් ගොඩක් හොඳින් ක්‍රීඩා කළා. විශේෂයෙන්ම පන්දු යවන්නියන් ඉතා හොඳින් ඒක කළා. විශේෂයෙන්ම හර්ෂිතා මාධවී ගැන කියන්න ඕනේ. ඇය තරගය පුරාම දෙවැනි ලකුණු ලාභිනිය හැටියට තරගාවලිය පුරාම හිටියා නවක ක්‍රීඩිකාවක් හැටියට. ඒ වගේම ඉනෝකා රණවීර, ඕෂධී රණසිංහ ඔවුන් හොඳින් පන්දු යැව්වා. කණ්ඩායමේ සියලුදෙනාම ඉතාම හොඳින් ක්‍රීඩා කරපු නිසා අපට අවසන් මහා තරගයට එන්න හැකියාව ලැබුණා. විශේෂයෙන් මේ තරගාවලිය පුරාම මම අසාර්ථක වුණා. පිතිකාරිනියක් විදියට ඒක ගොඩක් බලපෑවා. මම හිතන්නේ අවසන් මහා තරගයේ දීත් මට ලකුණු අතරට එන්න හැකියාව ලැබුණේ නෑ. මම බලාපොරොත්තු වුණා මීට වඩා හොඳ තරගයක් දීලා ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට ගෙනත් දෙන්න. අවාසනාවකට අපිට ඒක කරන්න බැරි වුණා.”

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *