රෝයල් පාක් ජූඩ්ට සමාව දෙන්න යැයි මන්ත්‍රි රතන සහ බද්දේගම සමිත ඇතුළු ලොක්කෝ මෛත්‍රිගෙන් ඉල්ලලා…!

රෝයල් පාර්ක් හි තරුණියක මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී, මරණ දඬුවම නියමව සිටි ජූඩ් ශ්‍රාමන්ත නමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස අතුරලියේ රතන හිමි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බද්දේගගම සමිත හිමි සහ සරත් කොස්ගහගේ මහතා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී අයැද සිටි බව ජනාධිපති සහකාර ලේකම්වරයකු ඉදිරිපත් කළ ලිපියක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය විය.

මෙම කරුණු අනාවරණය වූයේ, ජූඩ් ශ්‍රාමන්තට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය.

මේ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ, ජූඩ් ශ්‍රාමන්තට සමාව දීම සඳහා දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයාගේ සහ අභියාචනාධිකරණ විනිසුරුවරයාගේ වාර්තා කැඳවිය යුතු වුවත්, එසේ කර නොමැති බවත්ය.

මෙම පෙත්සම එස්. තුරේරාජා, යසන්ත කෝදාගොඩ සහ ජගත් ද සිල්වා මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.

ජූඩ් ශ්‍රාමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එරෙහිව කාන්තා එකමුතුව සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

කාන්තා එකමුතුව සංවිධානය විසින් ගොනු කරන ලද මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

මෙම පෙත්සම ඊයේ අධිකරණයට හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සමකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ, මේ අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහකාර ලේකම් පාර්තිකන් මහතා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපියක් අධිකරණයට යොමු කරන බවත්, එම ලිපියේ සඳහන් කරුණු අනුව ජූඩ් ශ්‍රාමන්ත ජයමහට සමාව දෙන ලෙස ඉල්ලා වාචිකව ඉල්ලීම් කළ පිරිසගේ නම් සඳහන් කර ඇති බවත්ය.

ඔවුන් ජූඩ් ශ්‍රාමන්ත ජයමහගේ මව වන එස්.එම්. ජයමහ මහත්මිය අතුරලියේ රතන හිමි, බලංගොඩ බුද්ධඝෝස හිමි, කතෝලික රදගුරු බවන් වික්‍රමසිංහ, බද්දේගම සමිත හිමි, මහේෂ් මඩවල සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කෝන්ගහගේ සහ නාලනී මහතුංග නමැත්තන් බවත්ය.

තව ද, ජූඩ් ශ්‍රාමන්ත ජයමහගේ මරණ දඬුවම ජීවිතාන්ත සිරදඬුවමක් දක්වා පත් කිරීමට නියෝග කළ කමිටු වාර්තාවේ වෙනත් කිසිදු සටහනක් කර නොමැති බවත්, ජූඩ් ශ්‍රාමන්ත ජයමහට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම පිළිබඳ නීතිපති උපදෙස් ජනාධිපති කාර්යාලයට ලැබී නොමැති බවත්, ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා :- මෙම ක්‍රියාදාමය අනුව පෙනී යන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොමග හැර ඇති බව ද?

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා :- යම් පමණකට නොමග යවා ඇති බවයි. කෙසේ නමුත් මෙම ක්‍රියාවලියේදී ජනාධිපතිවරයා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුගමනය කර නැහැ.

විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා :- මෙහිදී දඬුවම නියම කළ මහාධිකරණ විනිසුරුවරයාගේ මෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරයාගේ වාර්තාව කැඳවිය යුතුයි. එසේ කර නැහැ.

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා :- ඒ කිසිදු පටිපාටියක් අනුගමනය කර නැහැ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *