අතරමැදියන්ට නැටවෙන වෙළෙන්දන්ගේ බදු බලපත් අහෝසියි

ගොවීන් විසින් ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන එන එළවළු හා පළතුරු මිල දී නොගන්නා ආර්ථික මධ්‍යස්ථාන වල  වෙළෙන්දන්ගේ බදු බලපත් අහෝසි කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අතරමැදියන් නොමැතිව ගොවීන් විසින්ම තම  එළවළු හා පළතුරු ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන ඒමේ දී එහි අලෙවි සැල් අයිතිකරුවන්  එම නිෂ්පාදන  ඝෘජුවම මිල දී ගැනීම ප්‍රතික්ෂේප කරන බවට කෘෂිකර්ම අමාත්‍යවරයාට පැමිණිලි ලැබී තිබිණි.

අතරමැදියන් පිරිසක්  ගොවි ජනතාව මෙන්ම පාරිභෝගිකයින් ද  සූරා කෑමේ වැඩ පිළිවෙළක් ආර්ථික මධ්‍යස්ථානවල ක්‍රියාත්මක කරවන බවටද අමාත්‍යවරයාට පැමිණිලි ලැබී ඇත.

මෙම තත්ත්වය වලක්වා ගොවියා හා පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂා කර ගොවීන්ට කිසිදු අතරමැදියකුගේ සහයෝගය නැතිව තම නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානවලට අලෙවි  කිරීම සඳහා අවස්ථාව කඩිනමින් සලසන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

ගොවි ජනතාවට හා පාරිභෝගික ජනතාවට සහනයක් ලබා නොදෙන ආර්ථික මධ්‍යස්ථාන අලෙවිසැල් වල  බලපත් අහෝසි කර ඒවා වෙනත් අයට පැවරීම‌ට තීරණය කර ඇති බවද  අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට සියලු ආර්ථික මධ්‍යස්ථානවල බාරකාරත්වය ජනාධිපතිවරයා විශේෂ ගැසට් පත්‍රයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශයට  පවරනු ලැබ තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *