උතුරු නැගෙනහිර ගැටලුව විසදන්න ජනපති රනිල්ගෙන් සර්ව පාක්ෂික සමුළුවක්

උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් පොදු සම්මුතියක් ඇති කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට අදහස් කරගෙන සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින්  පැවසේ.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් පසුව සර්වපාක්ෂික සමුළුව කැඳවීමට කටයුතු කෙරෙනු ඇතැයිද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපතිවරයා උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටළු විසඳීමට අදාළ රජයෙන් යෝජනාවලිය සම්බන්ධයෙන්  එම දෙපළාත්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී  පසුගිය 18 වැනිදා  සාකච්ඡා පැවැත්විය.

මෙම හමුවේදී  ඇති කරගෙන ඇති එකඟතා සම්බන්ධයෙන් සර්වපාක්ෂික හමුවේදී දීර්ඝව කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.


තමාට අවශ්‍ය උතුරු නැගෙනර ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳීම මිස ඉන් දේශපාලන ප්‍රතිලාභ ලබා ගැනීම නොවන බවද    ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බව එහිදී පැවසු ජනාධිපතිවරයා  තමා උතුරු හා නැගෙනහිර ජනතාවට කිසිදු අවස්ථාවක අසාධාරණයක් සිදු නොකරන  බවද කියා සිටියේය.

මීට වඩා යමක් ඔවුන් වෙනුවෙන්  කිරීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් ලබාගත යුතු බවද   වික්‍රමසිංහ  මහතා   පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13  වැනි සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳවද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. පොලිස් බලතල හැරුණු කොට යෝජනාවේ ඇතුළත් සියලු බලතල ලබාදීමට හැකියාවක් ඇති නමුත් පොලිස් බලතල  දිය හැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් ඊට එකඟවන්නේ නම් පමණක් බවද ජනාධිපතිවරයා පැවසීය.

එසේම පාර්ලිමේන්තුවේ   තුනෙන් දෙකක  බහුතරයක් ඊට අවශ්‍ය බවද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *