20-20 නායකත්වය ගැන ආරංචියක්..!

උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් නව තේරීම් කමිටුව ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු කිරීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ව පත්කිරීමට අවධානය යොමු ව ඇති බව වාර්තා වේ.

26 හැවිරිදි වනිඳු හසරංග 2019 වසරේ දී නවසීලන්තයට එරෙහි ව විස්සයි විස්ස වරම් හිමිකරගත් අතර, තරග 58කට ක්‍රීඩා කර ඇති ඔහු දවාගෙන ඇති 20 – 20 කඩුලු සංඛ්‍යාව 91කි.

ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල කාලයක් අංක එකේ පන්දු යවන්නා ලෙස සිටි වනිඳු මේ වනවිට ශ්‍රේණිගත කිරීම්වල 03 වැනි ස්ථානයේ පසු වේ.

2021 වසරේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායකයා ලෙස දසුන් ශානක පත් කළ අතර, 2023 එක්දින ලෝක කුසලානය අතරතුර දී අබාධයක් හේතුවෙන් ඔහුව ඉවත් කර තාවකාලිකව නායකත්වයට කුසල් මෙන්ඩිස් පත් කිරීමට එවකට තේරීම් කමිටුව කටයුතු කළේය.

කෙසේ වෙතත් එක්දින නායකත්වය සම්බන්ධයෙන් නව තේරීම් කමිටුව තවමත් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ. ටෙස්ට් නායකත්වය දිමුත් කරුණාරත්නටම ලබාදීමට නව තේරීම් කමිටුවත් කටයුතු කරන බවයි.

උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් තේරීම් කමිටුව එළැඹෙන සඳුඳා යළි රැස්වීමට නියමිතයි.

එහි දී ජනවාරි මාසයේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *